සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 27

අඝාතය

1. නා. ශරීරයේ යම් කොටසක් චලනයට හෝ උත්තේජනයට ප්‍රතිචාරයක් ඇති කිරීමේ බලය නැතිව යෑම; පරාශ්ලථය (=paralysis).
2. නා. කෝපය; වෛරය; ද්වේෂය.

අඝානක

වි. ඝ්‍රාණේන්ද්‍රිය නැති; ගඳ සුවඳ දැනීමේ හැකියාවෙන් තොර.

අඝෝර

වි. බියකරු නොවූ; භයානක නොවූ; රෞද්‍ර නොවූ.
නා.ප්‍ර. ඊශ්වර; මහදෙවි.

අඝෝෂ

වි. ශබ්දඝෝෂා රහිත; හඬ නැති.
නා.ප්‍ර. ස්වර තන්තු කම්පනය නොවී උපදින අකුරු වර්ගයන්ගේ පළමු, දෙවන අකුරු සහ ශ, ෂ, ස, අ(ඃ) යන අකුරු.

අඞ්කපාලි

නා.ප්‍ර. අංකපාලි.

අඞ්කය

නා. අංකය.

අඞ්කුරය

නා. අංකුරය.

අඞ්කුශ

නා.ප්‍ර. අංකුශ.

අඞ්ගතිලක

නා.ප්‍ර. අංගතිලක.

අඞ්ගනාව

නා. අංගනාව.

අඞ්ගය

නා. අංගය.

අඞ්ගරය

නා. අංගාරය.

අඞ්ගරාගය

නා. අංගරාගය.

අඟ

1. නා. ශරීරය; ඇඟ; කය.
2. නා. ඇඟෙහි කොටස්; අවයව.
3. නා. කාරණය; ලක්ෂණය; අංගය.
4. නා. ශීලය; ධුතාංගය.
5. නා. ගව, මුව ආදි සතුන්ගේ හිසෙහි උල් ව වැඩෙන අවයවය.
6. නා. අඟක් වැනි උල.
7. නා. බාහු මූලයෙහි පලඳින වළල්ල; අඟු පලඳනාව; කේයූරය.

අඟ ලකුණු

නා.ප්‍ර. සිරුරෙහි ලකුණු; දේහ ලක්ෂණ; අංග ලක්ෂණ; ශරීරාවයවවල පිහිටි ශුභාශුභ ලක්ෂණ.

අඟණ

නා.ප්‍ර. මිදුල; මළුව; එළිමහන් භූමිය.

අඟදාභරණය

නා. අඟු පලඳනාව; කේයූරය.

අඟන

නා. ගැහැනිය; ස්ත්‍රිය; අංගනාව.

අඟපසඟ

නා. සිරුරේ ලොකු කුඩා අවයව; අත් පා ආදි ශරීරයේ අංග; අංග ප්‍රත්‍යංග.

අඟර

1. නා. ඇඟ ගල්වන සුවඳ විලවුන්; ශරීරයේ ආලේප කරන සඳුන් සුනු ආදි සුගන්ධ කල්කය; අඟරා.
2. නා. හාවභාව විලාස; ඔමරිය; අනුරාගී බැලුම්.

අඟර කරනවා

1. (කථා.) ක්‍රි. ඔමරි කරනවා; ඇඟ නටවනවා.
2. ක්‍රි. ගවයන් පොර වදින්නට පෙර කෝපයෙන් ඊට අර අඳිනවා; පොරපස් බිඳිනවා.

අඟරග

නා.ප්‍ර. ඇඟ ගල්වන සුවඳ විලවුන්; අංගරාගය.

අඟරදඟර

1. නා.ප්‍ර. ඔමරිය; අනුරාගලීලාව.
2. නා.ප්‍ර. පටලැවිලි බව; අවුල් බව.

අඟල

නා. අඩියෙන් දොළහෙන් පංගුව වන මිනුම් ඒකකය.