සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 287

ඊශරය

නා. ඊතලය; ඊගස.

ඊශසඛි

නා.ප්‍ර. ඊශ්වරයාගේ මිත්‍රයා; කුවේරයා.

ඊශ්වර

වි. ප්‍රධාන; අධිපති; ශ්‍රේෂ්ඨ; ප්‍රභූ.

ඊශ්වර ජනයා

නා. උතුම් හෝ වංශවත් අය; ප්‍රභූ ජනයා; වංශාධිපතියෝ.

ඊශ්වර නිර්මාණ දෘෂ්ටිය

නා. ලෝකය පරමේශ්වර දෙවියකුගේ මැවීමක්ය යන මතය.

ඊශ්වර ප්‍රණිධානය

නා. ඊශ්වර දෙවියා කෙරෙහි සිත පිහිටුවීම; ඊශ්වර දෙවියා කෙරෙහි වූ දැඩි භක්තිය.

ඊශ්වර වාදය

නා. සර්වබලධාරී ඊශ්වරයකු විසින් ලෝකය මවා පාලනය කෙරෙතැයි යන මතය.

ඊශ්වර විංශතිය

නා. (ජ්‍යෝති.) ඊශ්වර දෙවියන්ගේ පාලනයට අයත් සේ සැලකෙන විසි අවුරුදු කාලය.

ඊශ්වරමිත්‍ර

නා.ප්‍ර. ඊශ්වරයාගේ මිත්‍රයා; කුවේරයා.

ඊශ්වරයා

1. නා. ශිව දෙවියා; මහේශ්වරයා; පරමේශ්වරයා; සර්වබලධාරි දෙවියා.
2. නා. ප්‍රධානයා; අධිපතියා; ප්‍රභූවරයා; රජ.

ඊශාන

1. නා.ප්‍ර. ශිව හෝ රුද්‍ර දෙවියා.
2. නා.ප්‍ර. උතුර සහ නැගෙනහිර අතර පිහිටි දිශාව.
3. (ජ්‍යෝති.) නා.ප්‍ර. අදේ නැකත.

ඊශාන මෝසම

නා. නොවැම්බර් සිට මාර්තු දක්වා කාලය තුළ දකුණු ආසියා කලාපයේ ඊශාන දෙසින් නිරක්ෂය කරා හමන සුළඟ.

ඊශාන වෙළඳ සුළඟ

නා. ඊශාන දෙසින් සුළං ධාරාවක් නිරක්ෂය දෙසට හමන නියම ඍතු සුළඟ.

ඊෂත්

වි. ස්වල්පය; මඳ.

ඊෂත්කර

වි. පහසුවෙන් කළ හැකි.
නා.ප්‍ර. ස්වල්පය; ටික.

ඊෂාව

නා. (භෞති.) කප්පි, ජවරෝද වැනි භ්‍රමණය වන කොටස්වලට ආධාරකයක් වශයෙන් යොදනු ලබන දණ්ඩ; අක්ෂදණ්ඩ(=shaft).

ඊසාන

නා.ප්‍ර. ඊශාන දිසාව.

ඊහාව

නා. උත්සාහය; වීර්යය.

ඊළය

නා. ඇදුම; මුහ රෝගය.

උ

සිංහල හෝඩියේ සත්වැනි අකුර හා සත්වැනි ස්වරය.
නා.ප්‍ර. ඊශ්වරයා; ශිව දෙවියා.
අව්‍ය. උඩ; ඉහළ; ඉක්මවා යනාදි අර්ථවල යෙදෙන උපසර්ගයක්.

උංචිල්ලාව

නා. විනෝදය සඳහා හිඳගෙන හෝ නැඟිටගෙන හෝ පැදිය හැකි පරිදි සකස් වූ ක්‍රීඩා උපකරණයක්; ඔන්චිල්ලාව.

උංචිලි වාරම්

නා.බහු. උංචිලි පදින විට ගයන සිවුපද.

උකට

1. වි. ඉතා උසස්; විශිෂ්ට; උත්කෘෂ්ට.
2. වි. විශාල; ලොකු.
නා.ප්‍ර. විශාල වූව; උසස් වූව.

උකටපා

නා.ප්‍ර. භික්ෂූන්ට කැප පාත්‍ර හතෙන් එකක්; විශාල පාත්‍රය.