සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 342

උෂ්ණත්වය

නා. උණුසුම්බව; උෂ්ණගතිය; යම් වස්තුවක ඇති උණුසුමෙහි හෝ සිසිලෙහි හෝ ප්‍රමාණය.

උෂ්ණත්වලේඛය

(පාරිභා.) නා. ස්වයංක්‍රීය ලෙස උෂ්ණත්වය සටහන් කෙරෙන උෂ්ණත්ව මානයක් (=thermograph).

උෂ්ණතාපනය

නා. ගිනි රස්නෙන් තැවීම; වාෂ්පයෙන් තැවීම.

උෂ්ණමානක

වි. උණුසුම මනින; උෂ්ණය ප්‍රමාණ කරන.

උෂ්ණමාපකය

1. නා. උෂ්ණත්වමානය.
2. නා. තාපය මැනීම සඳහා භාවිත කෙරෙන උපකරණය; තාපමානය; කැලොරි මීටරය (=calorimeter).

උෂ්ණය

1. නා. උණුසුම; රස්නය.
2. නා. (ශරීරයෙහි) උණුසුම.
3. (කථා.) නා. උෂ්ණත්වය; දුර්ගන්ධය.

උෂ්ණරුධිර සත්ත්වයා

(පාරිභා.) නා. පරිසරයේ උෂ්ණත්වයට අධික රුධිරගත උෂ්ණත්වයකින් යුක්ත සත්ත්වයා (=warm blooded animal).

උෂ්ණාංශු

නා.ප්‍ර. උණුසුම් රශ්මිය ඇත්තා වන හිරු; සූර්යයා.

උෂ්ණාභිතප්ත

වි. උණුසුමෙන් දැඩි සේ තැවුණූ; ග්‍රීෂ්මයෙන් අධික සේ පෙළුණු.

උෂ්ණාම්බුව

නා. උණුසුම් දිය; රත් වූ වතුර.

උෂ්ණීකරණය

නා. උණු කිරීම; රත් කිරීම; උණුසුම් බවට පැමිණවීම.

උෂ්ණීෂ පට්ටය

නා. අලංකරණය සඳහා පලඳින නළල් පටිය; නළල්පට; රාජකකුධ භාණ්ඩයක්.

උෂ්ණීෂය

1. නා. උෂ්ණීෂ පට්ටය.
2. නා. බුදුපිළිමවල හිසමුදුනේ දක්නා ලැබෙන කුඩුම්බිය; සිරස්පත; කේතුමාලාව.

උෂ්ණෝත්පාදනය

[උෂ්ණ + උත්පාදනය]
නා. උෂ්ණත්වය ඉපදවීම; උණුසුම දැනවීම; රස්නය ඇති කරවීම.

උෂ්ණෝදකය

[උෂ්ණ + උදකය]
නා. උණු කළ ජලය; උණුවතුර.

උෂ්මය

1. නා. උණුසුම.
2. නා. උෂ්ණ ඍතුව.

උෂිත

වි. විසූ; වාසය කළ.

උස

1. නා. කිසියම් මට්ටමක සිට ඉහළට පිහිටි දුර ප්‍රමාණය.
2. (පාරිභා.) නා. උන්නතාංශය (=altitude).

උසබ

1. නා.ප්‍ර. වෘෂභයා; ගවයා.
2. නා.ප්‍ර. උත්තමයා; ශ්‍රේෂ්ඨයා.
3. නා.ප්‍ර. රියන් එකසිය හතළිහක දුර; ඉස්බ.

උසස්

1. වි. උසින් පිහිටි.
2. වි. උතුම්; ශ්‍රේෂ්ඨ.

උසසුන

නා. (විනය.) උස් අසුන; (නියමිත ප්‍රමාණය ඉක්මවා) උස් වූ ආසනය; උච්චාසනය.

උස්

1. වි. උඩට ගිය; ඉහළට ගිය; උච්ච.
2. වි. උසස්.

උස්ණදර

නා.ප්‍ර. (උෂ්ණය දරන්නා) සූර්යයා.

උස්මුරුත්තාව

(කථා.) නා. බොහෝ කොට ආහාර ගැනීම නිසා හුස්ම ගැනීමට පවා අපහසු වීම.