සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 348

ඌර්ධ්වස්ථ පුප්ඵුසධමනිය

(පාරිභා.) නා. පෙනහලුවල දී පිරිසිදු කරන ලද රුධිරය හෘදය කරා ගෙන යන ශිරාවක් (=upper pulmonary vein).

ඌර්ධ්වාග්‍රරෝම

නා.ප්‍ර. අග උඩට නැමුණු රෝම; උඩුකුරු අග ඇති ලොම්.

ඌර්ධ්වීකරණය

නා. උඩට ඉස්සීම; එසවීම.

ඌර්මාරය

නා. එළිපත.

ඌර්මි

1. නා.ප්‍ර. රැළ; තරංගය.
2. නා.ප්‍ර. කෙලෙස් නමැති රළ හෙවත් තරංග.
3. නා.ප්‍ර. අශ්ව ගමනයේ ආකාරය දක්වන වර්ණාලංකාරයක්.

ඌර්මිකා

1. නා.ප්‍ර. රැළ; තරංගය.
2. නා.ප්‍ර. තරංගාකාර (ආලෝක) ශක්ති විශේෂය.

ඌර්මිමාලිය

නා. සාගරය; සමුද්‍රය.

ඌර්වස්ථිය

(පාරිභා.) නා. කලවා ඇටය (=femur).

ඌර්වී මර්මය

නා. කලවා මැද පිහිටි මර්මයක්.

ඌරු

1. වි. ලොකු; විශාල.
2. වි. පල් වූ; කුණු වීමට පටන්ගත්.
3. වි. ලුණු මිශ්‍ර; ක්‍ෂාරමය.

ඌරු කේන්තිය

(කථා.) නා. දැඩි තරහ.

ඌරු ටොක්ක

නා. වල් සතුන් බිය ගන්වා පලවා හැරීමට (ගොවිබිම්වල) භාවිත කෙරෙන උපකරණයක්; දියඩොඟරය.

ඌරු මීයා

නා. පොළොවේ ගුල් හාරන විශාල මී වර්ගයක්.

ඌරු මුඩිය

නා. ඌරාගේ හොම්බ.

ඌරු යක්කම

නා. කොහොඹා කංකාරියේ එන එක් අංගයක්.

ඌරු වාහනය

නා. මහසෝනාගේ වාහනය වූ ඌරා.

ඌරු වෙනවා

1. ක්‍රි. පල් වෙනවා; නරක් වී යනවා.
2. ක්‍රි. වෙනස් වෙනවා; අන් අතකට යොමු වෙනවා.

ඌරු හීගතුව

(කථා.) නා. හදිස්සියෙන් තරහ. ගැනීම; ඉක්මන් කෝපය.

ඌරුජාලා

නා.ප්‍ර. කලවාවෙහි පලඳින දැලක ආකාරයේ ආභරණ විශේෂයක්; වටොරදැල්.

ඌරුතලය

නා. ඌරන් සමූහය.

ඌරුන් කරනවා

(කථා.) ක්‍රි. (සූදු කෙළියෙහි දී) ඔට්ටුව අස් කර ගන්නවා.

ඌරුපහ

නා.ප්‍ර. කෑමට ගන්නා ලොකු හතු හෙවත් බිම්මල් වර්ගයක්.

ඌරුපේරු

(කථා.) නා.ප්‍ර. තමන් කළ යුතු වැඩ අනුන්ට කරන්න දී සිටීම.

ඌරුබද්ධාසනය

නා. එරමිණිය ගොතා වාඩි වීම; පර්යංකය.