සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 480

කිලෝවොට් පැය

(පාරිභා.) නා. වොට් දාහකින් පැයකදී කෙරෙන කාර්යය මනින ඒකකය (=kilowatt hour).

කිවි

1. නා.ප්‍ර. කවියා.
2. නා.ප්‍ර. කවිය.
3. නා.ප්‍ර. වඳුරා; වානරයා.
4. නා.ප්‍ර. කිවි ග්‍රහයා; සිකුරු.

කිවිදා

නා.ප්‍ර. කිවි ග්‍රහයාගේ නමින් හැඳින්වෙන දිනය; සතියේ සවන දවස; සිකුරාදා.

කිවිඳු

1. නා.ප්‍ර. කවීන්ගේ නායකයා; කවීන්ද්‍රයා.
2. නා.ප්‍ර. වඳුරු රැළක නායකයා.

කිවියර

නා. කවියා; කිවිවරයා.

කිවිලකර

නා. කවිය හොබවන හෙවත් සරසන උපමා රූපකාදිය.

කිවිසත

1. නා. කාව්‍ය ශාස්ත්‍රය.
2. නා. කවිකාර පිරිස; කාව්‍යකාර ජනයා.

කිවිහෝරාව

(ජ්‍යෝති.) නා. සප්තවිධ හෝරාවලින් එකක්; සිකුරු ග්‍රහයාගේ බලය පවත්නා ඔරලෝසු පැය .

කිවුල්

1. වි. ඇඹුල් රස නැති.
2. වි. ලුණු රස නැති; නීරස.

කිවුල් දිය

නා. කරදිය හා මිරිදිය මිශ්‍ර වූ ජලය.

කිශලය

නා. ළා පත්‍රය; දලුව; පල්ලවය.

කිස

1. නා.ප්‍ර. වැඩය; කාර්යය; කෘත්‍යය.
2. නා.ප්‍ර. මූත්‍ර.
3. නා.ප්‍ර. කෙට්ටුකම; කෘශ භාවය.
වි. කෙට්ටු; කෘශ.

කිසක

නා.ප්‍ර. තවුසා; තාපසයා.

කිස්

නා.ප්‍ර. කුස; කුක්ෂිය.

කිස්දොවුන්

වි. මවුකුස සෝදාගෙන මෙන් අන්තිමට උපදනා, බාල ම දරුවා හෙවත් බඩපිස්සා.

කිස්ස

1. නා. කුඩා වරාය.
2. නා. මඩ සහිත ජලය රඳා පවතින බිම් පෙදෙස.
3. නා. යතුර; කුඤ්චිකාව.

කිසි

නා.ප්‍ර. ගොවිකම; කෘෂිකර්මය.

කිසිකිවිසි

නා.ප්‍ර. කැස්ස හා කිවිසීම; කෑරීම හා කිවිසුම් ඇරීම.

කිසිවක්

සර්ව. කවර හෝ යමක් යම්දෙයක්; යම් කාරණයක්.

කිසුණු

නා.ප්‍ර. භාවනා කිරීමේ දී සිත පිහිටුවා ගැනීමට යෝගාවචරයා යොදා ගන්නා අරමුණ; කසිණය.

කිසුණු පිරියම්

නා.ප්‍ර. කසිණ භාවනාව වැඩීමේ මුල් අවස්ථාව; කසිණ පරිකර්මය.

කිසෙයින්

ක්‍රි.වි. කවර ලෙසින්; කුමන අයුරින්.

කිහිර

නා. පොල්, පුවක් ආදියේ කඳේ පතුර; කීර.

කිහිරඟුරු

නා.ප්‍ර. කිහිරි ලී දවා ලබාගන්නා අඟුරු.