සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 481

කිළ

1. නා.ප්‍ර. ක්‍රීඩාව; සෙල්ලම.
2. නා.ප්‍ර. කුළු හරකාගේ ගැහැනු සතා.
3. නා.ප්‍ර. සතුන් රැළේ වැටීම.

කිළංචිය

(කථා.) නා. කලබලය; කැලඹීම.

කිළන්

1. නා.ප්‍ර. මුදවාපු කිරිවලින් තනාගන්නා පානයක්; මෝරු; කිරිමෝරු.
2. නා.ප්‍ර. මුදවන ලද කිරෙන් පෑදුණු දිය.

කිළි

1. නා.ප්‍ර. ශරීරයේ ඉඟටියට පහතින් පිහිටි කොටස; කටිය; උකුළ.
2. නා.ප්‍ර. කුටිය; කුඩා ගෙවල්.
3. නා.ප්‍ර. (ගොඩනැගිලි ආදියෙහි) මුදුන; කූටය; මස්තකය.
4. නා.ප්‍ර. ක්‍රීඩාවල දී අල්ලන ඔට්ටුව; පරදුව.
5. නා.ප්‍ර. මොනරාගේ ගැහැනු සතා.
6. නා.ප්‍ර. ගිරවා.
7. නා.ප්‍ර. චර්ම රෝගයක්; කුෂ්ඨය.

කිළිල්

නා.ප්‍ර. ගසක ගොබය; අංකුරය; (විශේෂයෙන්) උණ ගොබය.

කීකසය

(පාරිභා.) නා. කාටිලේජය.

කීට

1. (පාරිභා.) නා.ප්‍ර. කෘමීන්ගේ ජීවන චක්‍රය අවස්ථා සතරින් දෙවන අවස්ථාව; පණුවා; කෘමියා.
2. නා.ප්‍ර. වෘශ්චික රාශිය.

කීටක

නා.ප්‍ර. පටනූලින් වියන ලද වස්ත්‍ර විශේෂයක්.

කීටබාලකයා

(පාරිභා.) නා. කෝෂාවස්ථාවේ සිටින කීටයා; පිලවා (=pupa).

කීටරූපානුබන්ධය

(පාරිභා.) නා. කුඩා බඩවැල හා මහ බඩවැල සම්බන්ධ වන ස්ථානය සමීපයෙහි පිහිටි පණුවකුගේ හැඩය ඇති අවයවය; උණ්ඩුක පුච්ඡය (=vermiform appendix).

කීඩෑවා

නා. කෘමි විශේෂයක නාමය.

කීණ

වි. ක්ෂය වූ; හීන වූ; පිරිහීගිය.

කීතු

නා.ප්‍ර. සිහින් පටිය; තීරය.

කීනබල්ලා

නා. දඩයම් බල්ලා; චණ්ඩ බල්ලා; රෞද්‍ර බල්ලා.

කීර

1. නා.ප්‍ර. ගිරවා; කීර පක්ෂියා.
2. නා.ප්‍ර. ව්‍යඤ්ජනයට ගන්නා කොළ වර්ග; පලා.
3. නා.ප්‍ර. ලීයකින් ගැලවී යන කුඩා දික් ලී පතුර.

කීර්තනය

1. නා. කීම; ප්‍රකාශනය; ගුණ කථනය; වර්ණනය.
2. නා. සිහි කිරීම; අනුස්මරණය.

කීර්තිය

නා. යසස; ප්‍රසිද්ධිය; ගුණ ඝෝෂාව.

කීරි ගසනවා

ක්‍රි. ලී ආදිය සිහින් දිග වතුරුවලට ඉරා හෝ පළා හෝ වෙන් කරනවා.

කීලකය

1. නා. කූඤ්ඤය.
2. නා. පොරොප්පය; ඇබය.
3. (පාරිභා.) නා. කලම්පය; අල්ලුව (=clamp)
4. (පාරිභා.) නා. පැළෑටි කුඩිත්තන්ගේ ඉදිකටු වැනි අධෝහනුව සහ හනුක උපාංගය.

කීලය

1. නා. උල; කුඤ්ඤය; කටුව; සූනියම්වල දී භාවිත කරන විවිධ කටුවර්ග වලින් එකක්.
2. (පාරිභා.) නා. භ්‍රමණ කේන්ද්‍රයෙහි සවි කරන ඇණය (=pivot).
3. (පාරිභා.) නා. යන්ත්‍රවල කොටස් සවිකිරීමට උපයෝගී කර ගන්නා කුඤ්ඤ විශේෂයක් (=cotter).
4. නා. රිට; දණ්ඩ; කණුව.
5. (පාරිභා.) නා. මලක කොටසක්; මලක ඩිම්බ කෝෂය මුදුනෙන් පිට වන නටුව හෙවත් නාළිකාව.

කීල්

1. නා.ප්‍ර. බිම් දුම්මල.
2. නා.ප්‍ර. තාර; ගල්තාර.
3. නා.ප්‍ර. දුම්මල හා කොහොල්ලා උණු කොට සාදාගන්නා මැලියම් හෙවත් බදාම වර්ගයක්.

කීල්රෙදි

[නා.ප්‍ර.) වතුර කාන්දුවීම වළකනු සඳහා තාර තවරා ඝන කළ රෙදි වර්ගයක්.

කීලාල

නා.ප්‍ර. ලේ; රුධිරය.

කීලාස්ථිය

[කීල + අස්ථීය]
(පාරිභා.) නා. හිස් කබල තුළ පිහිටා ඇති ඇට අටෙන් එකක් (=sphenoid bone).