සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 493

කුරුට්ට

නා. ධාන්‍යවල හා ගෙඩි ඇට ආදියෙහි පිටපොත්තට යටින් පිහිටි සිවිය; කුඩ්ඩ; නිවුඩ්ඩ.

කුරුටු ගානවා

1. ක්‍රි. (ලී, ගෙඩි ආදියෙහි) පිට පොත්ත හෝ සිවිය සූරා දමනවා.
2. ක්‍රි. කුමක් හෝ ලියනවා; ඉරි අඳිනවා; නිකරුණේ කිසිවක් මත ඉරි අඳිනවා.

කුරුටු ගී

නා.ප්‍ර. සීගිරියේ කැටපත් පවුරෙහි ලියා ඇති පද්‍ය.

කුරුණෑ

නා.ප්‍ර. ඇතා; හස්තියා.

කුරුණෑයකයා

(කථා.) නා. ඇතුන් බලන්නා; ඇත්ගොවුවා.

කුරුණිය

1. නා. ධාන්‍ය හෝ ද්‍රව මනින මානයක්; ලාහ.
2. නා. ද්‍රෝණයක් හෙවත් ලාස් හතරක ප්‍රමාණය.

කුරුතිඤ්ඤය

(කථා.) නා. මදුරුවන්ගෙන් ආරක්ෂා කිරීමට ළදරුවන් වසා තබන දැල් රෙදි යෙදූ කූඩුවක් වැනි උපකරණය.

කුරුන්දනවා

1. (කථා.) ක්‍රි. කුරයෙන් බිම පහුරු ගාමින් පොරයට අර අඳිනවා.
2. ක්‍රි. කිසිවක් කිරීමට මාන බලමින් ඉන්නවා; කැස කවමින් ඉන්නවා.

කුරුඳු

1. නා.ප්‍ර. කුළුබඩු සහ ඖෂධ ගණයට අයත් සුවඳවත් පොතු හා කොළ සහිත ශාකයක්
2. නා.ප්‍ර. මැණික් ගල් වෙසෙසක්.

කුරුඳු තළනවා

ක්‍රි. කුරුඳු කෝටු තළා පොත්ත ගලවා ගන්නවා.

කුරුඳුගල

නා. සැත්කම් ආදියෙහි දී උපයෝගී කරගන්නා සියුම් ආයුධ මුවහත් කිරීමට ගන්නා ගල් වෙසෙසක්.

කුරුඳුවැල

නා. නාන විට ඇඟ ඉලීම සඳහා භාවිත කළ කුරුඳු ගල් සුණු ලාකඩ හා මිශ්‍ර කොට තනා ගත් ගුළි ඇමුණූ වැල.

කුරුපණ

වි. ක්‍රෑර; දරුණු; නපුරු.

කුරුපය

නා. වහලක මුදුන් යටලීයට ආධාර වශයෙන් බාල්කයක් මත සිටුවා ඒ යටලීයට සවි කරන මිටි ආධාරක කණුව.

කුරුපස්

නා.ප්‍ර. කුරු නමැති කුහුඹුවන් විසින් ගුල් හෑරීමේදී ඉවත ලන පස.

කුරුපී

නා.ප්‍ර. විරූපී තැනැත්තා; අවලක්ෂණ තැනැත්තා.

කුරුබිලිය

නා. රහස් දොරටුව; රහස් දොර; කුඩා දොරටුව.

කුරුම

1. නා.ප්‍ර. කැස්බෑවා; ඉදිබුවා.
2. නා.ප්‍ර. සිලිම් පහක් වටිනා කාසියක්.

කුරුම්බා

නා.ප්‍ර. නොමේරූ ලොඳ මදය සහිත පොල් ගෙඩිය; වෑවරය.

කුරුම්බැට්ටිය

නා. පොල් ගෙඩියේ ඉතා ළපටි කුඩා අවස්ථාව; ගොබොල්ල.

කුරුමානම

1. නා. එල්ලය; ඉලක්කය.
2. නා. අරමුණ කරගත් දෙය.

කුරුමානම් කට්ටය

නා. කුරුමානම් ඇල්ලීම සඳහා තුවක්කුවක කොනේ සවිකර ඇති බොත්තම.

කුරුමිට්ටා

(කථා.) නා. කුඩා මිටි තැනැත්තා; අඟුටු මිට්ටා.

කුරුරස

1. වි. කර්කශ; ක්‍රෑර
2. වි. කුරිරු අදහස් ඇති.