සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 494

කුරුල්ලා

1. නා.ප්‍ර. පියාපත් සහිත පෘෂ්ඨවංශික ද්විපාදයා; පක්ෂියා; සකලයා.
2. නා.ප්‍ර. සමහර ශාකවල මුල් අල ආදියෙන් පැන නඟින අංකුරය; මොටෙයියා
3. (කථා.) නා.ප්‍ර. ඇතුළෙන් දොර වසා තද කිරීම සඳහා උළුවස්සේ ඇතුළු පැත්තේ සවි කරන ලී කැබැල්ල; අගුල.
4. නා.ප්‍ර. ගොයම් කරල; වී කරල.

කුරුලෑ

නා.ප්‍ර. තරුණ වියේ දී මුහුණේ (කටු සේ) හට ගන්නා කුඩා ගඩු වෙසෙසක්; යෞවන පිළිකා.

කුරුලු පාළුව

1. නා. පැරණි ගැමියා තම කුඹුරේ වන රොදට ආසන්නව කුරුල්ලන්ගේ ආහාරය සඳහා වෙන් කරන බිම් කොටස.
2. නා. වැවකින් ජලය ලබන කුඹුරු කට්ටියක වැව ළඟින් ම සහ ඈතින් ම පිහිටි බඹ පහක් පමණ පළල කුඹුරු පටි දෙක.

කුරුවල්ල

(කථා.) නා. කිකිළියන් බිජු රක්වනු සඳහා පොල්කොළ පන් ආදියෙන් වියූ කූඩය.

කුරුවලු

(කථා.) වි. යථා පරිදි නොපැසී නරක් වීමට ගිය; මේරීමට පෙර නරක් වූ; කුරෝලු වූ.

කුරුවිටි

වි. රවුම්; වටකුරු; ගෝලාකාර.

කුරුවින්ද

1. නා.ප්‍ර. පස් වැදෑරුම් පද්මරාග මාණික්‍යවලින් ඇටිකුකුළු ඇසක රත් පැහැයෙන් යුක්ත යැයි කියනු ලබන ප්‍රභේදය.
2. නා.ප්‍ර. පාෂාණ විශේෂයක නාමය; රත්හිරියල්.
3. නා.ප්‍ර. කැඩපත; දර්පණය.
4. නා.ප්‍ර. බැදිහාල්.

කුරුවීර

(කථා.) වි. ක්‍රෑර; නපුරු; රෞද්‍ර

කුරුස පිකාදුව

(කථා.) නා. කුරුසයෙහි ඇණ ගසන ලද ක්‍රිස්තුන් වහන්සේගේ රූ සටහන.

කුරුස යුද්ධය

නා. 11, 12, 13 යන ශත වර්ෂවල දී යුරෝපයේ ක්‍රිස්තියානින් තම ශුද්ධ භූමිය වූ බටහිර පලස්තීනය මුස්ලිම්වරුන්ගෙන් ගලවා ගැනීම පිණිස කළ ආයුධ සටන.

කුරුසය

1. නා. අතීතයෙහි අපරාධකාරයන් ඇණ ගසා මැරීමට උපයෝගී කරගත් කතිරයක හැඩයෙන් යුතු උපකරණය.
2. නා. කතිරය; කතිර සටහන.
3. නා. මතකය; නිච්චිය; කල්පනාව.

කුරුසාක්කුව

නා. ඉරීම, කැපීම, යතුගෑම ආදියෙහි දී සීමා වශයෙන් ලෑලිවල සෘජු රේඛා ඇඳ ගැනීම සඳහා භාවිත කරන උපකරණය; වරක්කලය.

කුරුසි සුරුවම

නා. කුරුසය මත හිඳිනා ක්‍රිස්තුස් වහන්සේගේ රූ සටහන.

කුල ඉහ

(කථා.) නා.ප්‍ර. ගස් බෙනය.

කුල කාන්තාව

නා. වංශවත් ස්ත්‍රිය; කුලාඞ්ගනාව.

කුල කියනවා

1. (කථා.) ක්‍රි. (කරන ලද උපකාර අමතක කර) දෝෂාරෝපණ මුඛයෙන් කථා කරනවා; කළ සුළු උපකාරය ගැන පුන පුනා කියනවා.
2. ක්‍රි. කුලය මුල්කොට ගෙන අපහාස කරනවා.

කුල කොත්

වි. කුලයට කොතක් වූ; කුලය බබළවන; කුල ශ්‍රේෂ්ඨ.

කුල ගෙය

1. නා. ස්වකීය පරපුරට හෝ කුලයට අයත් ගෙය.
2. නා. පවුලක් වසන ගෙය.

කුල දරනවා

ක්‍රි. ස්ත්‍රියක කුලයෙන් අඩු පුරුෂයකු සමග යෑමෙන් සිය කුලයට නින්දා පමුණුවනවා.

කුල දරුවා

1. නා. උසස් පවුලක උපන් තැනැත්තා; මනා හික්මීමකින් යුත් තැනැත්තා.
2. නා. පවුලකට අයත් දරුවා; ගෙදරක වසන්නා.

කුල දෙටුවා

නා. කුලයෙහි ප්‍රධානයා; කුල ජ්‍යෙෂ්ඨයා; පවුලේ ප්‍රධානයා; ගෘහ මූලිකයා.

කුල ධර්මය

1. නා. කුලයකට නොහොත් පොදු සමාජයට අයත් මුතුන් මිත්තන් විසින් රැක ගෙන ආ ගුණධර්මය.
2. නා. කුලවාදය; කුලය පිළිබඳ මතය.

කුල භේදය

නා. සමාජ කුල හා සම්බන්ධ ව පවතිතැයි විශ්වාස කරනු ලබන උසස් - පහත්බව පිළිබඳ සංකල්පය.

කුල වද්දනවා

1. ක්‍රි. ක්‍රිස්තියානි ආගම වැලඳ ගන්නට සලස්වනවා; ක්‍රිස්තියානියකු වශයෙන් බවුතීස්ම කරනවා.
2. ක්‍රි. පවුලකට සම්බන්ධ කරනවා; කසාද බන්දවනවා
3. (කථා.) ක්‍රි. අන් දරුවකු දරුකමකට හදා වඩා ගැනීම සඳහා (නීත්‍යනුකූල ව භාරගෙන) එම දරුවාට තම නම් වාසගම් ආදිය තැබීමෙන් පවුලට ඇතුළත් කර ගන්නවා.