සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 495

කුල විලෝකනය

නා. දෙව්ලොව වසන බෝසත්වරු බුදුබව ලබන ජන්මයෙහි උත්පත්තිය ලැබීම සඳහා, මිනිස් ලොව උතුම් කුලයක් ගැන සොයා බැලීම.

කුල සංසර්ගය

නා. පැවිදි ව සිටිමින් ගිහි කුලයක් සමඟ අගෝචර ලෙස ඉතා කිට්ටු ආශ්‍රයට වැටීම.

කුල සංස්ථාව

නා. වෘත්තීයමය තත්ත්වයන්ට අනු ව ජන සමාජය නොයෙක් කුලවලට බෙදී තිබූ පිළිවෙළ; කුල සම්මතය.

කුල සඞ්ග්‍රහය

නා. භික්ෂූන් වහන්සේ කෙනෙකු ගිහි පවුල්වලට මල් පල ආදිය දීමෙන් කරන විනය විරෝධි සංග්‍රහය.

කුල සන්තතිය

නා. කුලයෙහි අඛණ්ඩ පැවැත්ම; කුල පරම්පරාව.

කුල සම්පත්තිය

1. නා. උසස් කුලයක් ඇති බව; සමෘද්ධ කුලය.
2. නා. කුලයට අයත් සම්පත්තිය.

කුලංදු කරනවා

(කථා.) ක්‍රි. බොර කරනවා; කලත්තනවා.

කුලකජ්ජලය

නා. කුලය මුල්කොට ගෙන කරන අපහාසය හෝ නින්දාව; කුලදැලි.

කුලකය

1. නා. කිසියම් වර්ගයකට අයත් වන සමූහය; සමුදාය; රාශිය.
2. (අලං.) නා. එක ම ක්‍රියාකාරක පද සම්බන්ධයකින් අවසන් වන පද්‍ය පහක් හෝ ඊට වැඩි ගණන.

කුලක්ෂය

නා. වංශයෙහි පරිහානිය; කුලයෙහි විනාශය.

කුලකුමරිය

නා. උසස් කුලයකට අයත් තරුණිය; කුලීන කාන්තාව.

කුලග

වි. වංශයට අග්‍ර වූ; කුල පරම්පරාවෙහි අගතැන්පත් වූ.

කුලගුරු

නා.ප්‍ර. (පාරම්පරික) ආචාර්යවරයා; පුරෝහිතයා; ගුරුවරයා.

කුලඞ්ගාර

වි. කුලය කිලුටු කරන; කුල විනාශක.

කුලච්චිය

1. (කථා.) නා. (සතුන් පිට පැටවූ තවලම් නොවැටෙන සේ) බෙල්ල අසුවෙන්ට බඳින බැම්ම.
2. නා. තවලම පැටවීමට පෙර පිට උඩට එළන ආස්තරය.

කුලජ

වි. වංශවත් කුලයක උපත ලත්; කුලදා; කුලවත්.

කුලටාව

නා. පුරුෂයන් පතා යන්නී; වෛශ්‍යාව; වෙසඟන

කුලදැති

වි. කුලවැසියන් විසින් දෙන ලද.

කුලදූෂක

වි. භික්ෂූන් කෙරෙහි සැදැහැවත් කුලයන්ගේ පැහැදීම නැති කරන.

කුලදෙවියා

නා. කුලය විසින් වෙසෙසින් පුදනු ලබන ආගමික උතුමා.

කුලපති

වි. කුලයෙහි ස්වාමියා වූ; කූල ශ්‍රේෂ්ඨ වූ.
1. නා.ප්‍ර. කුලයෙහි ස්වාමියා; කුල ජ්‍යෙෂ්ඨයා.
2. නා.ප්‍ර. විශ්වවිද්‍යාලයක නිල වශයෙන් ප්‍රධානයා ලෙස පත් ව සිටින තැනැත්තා (=chancellor).

කුලපල්

1. නා.ප්‍ර. කුල පාලිකාව; ආචාර සම්පන්න ස්ත්‍රිය; කුලස්ත්‍රිය.
2. නා.ප්‍ර. පතිවත රකින කාන්තාව.

කුලප්පුව

1. නා. ඉක්මන; කඩිමුඩිය; කලබලය; ඇවිස්සීම.
2. නා. දඟකාර ස්වභාවය; නොදැමුණුබව.

කුලපිත්

නා.ප්‍ර. උසස් කුලයක උපන් තැනැත්තා; යහපත් හැසිරීමෙන් යුත් තැනැත්තා.