සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 514

කේවල සටහන් ක්‍රමය

නා. ගණන් තැබීමේ දී එක් සටහනක් ගිණුමක එක් පැත්තක හෝ අනික් පැත්තේ වරක් පමණක් සටහන් කිරීමේ ක්‍රමය; තනි සටහන් ක්‍රමය.

කේවලපරිපූර්ණ

වි. බැහැරින් කිසිවක් නොගෙන තමන් ම පරිපූර්ණ වූ; සියල්ලෙන් පිරිපුන්; අංග සම්පූර්ණ.

කේවලපරීක්ෂණ

නා.ප්‍ර. (බුද්ධිය පරීක්ෂා කිරීම සඳහා) එක් එක් පුද්ගලයා වෙන වෙන ම ගෙන කරනු ලබන පරීක්ෂණය (=individual test).

කේවලප්‍රත්‍යාස්ථ

(පාරිභා.) වි. සම්පූර්ණයෙන් ම ඇදෙනසුලු; පූර්ණ නම්‍ය (=perfectly elastic).

කේවලාක්ෂර

නා. කේවල අක්ෂර; තනි අකුරු; වෙනත් අක්ෂර හා සංයුක්ත නොවූ අක්ෂරය.

කේවලී

1. වි. (සියල්ලෙන්) පිරුණු; සම්පූර්ණ වූ.
2. වි. රහත්වීමෙන් සම්පූර්ණ වූ; රහත් වූ.
3. වි. තනි වූ; හුදකලා වූ.

කේවෙල්

1. (කථා.) නා.ප්‍ර. විහිළුව; සරදම; ඔච්චම.
2. නා.ප්‍ර. රැවටීම; වංචාව; ප්‍රයෝගය.
3. නා.ප්‍ර. අඩු මිලට ඉල්ලීම; හෙට්ටු කිරීම.
4. නා.ප්‍ර. හිරිහැරය; කරදරය; විරුද්ධකම.

කේශ ආර්ද්‍රතාමානය

(පාරිභා.) නා. වායුගෝලයේ ඇති තෙතමනය මැනීම සඳහා භාවිතා කරනු ලබන මිනිස් හිසකෙස් යොදා සකස් කළ උපකරණ විශේෂයක නාමය (=hair hygrometer).

කේශ නාලිකාව

(පාරිභා.) නා. කෙස්ගහක් බඳු ඉතා කුඩා විෂ්කම්භයක් ඇති සියුම් රුධිරවාහිනිය (=capillary).

කේශකල්‍යාණය

නා. ස්ත්‍රීන්ගේ පංච කල්‍යාණවලින් එකක් වන දිගු කෙස් කලඹක් ඇතිබව.

කේශකලාපය

නා. හිසකෙස් වැටිය; කෙස්කලඹ.

කේශකූප

නා.ප්‍ර. හිසකෙස් ගසෙහි මුල පිහිටි කුඩා සිදුර; කෙස්ගස් පිහිටි සිදුර.

කේශග්‍රහය

නා. හිසකෙස් වැටියෙන් අල්ලා ගැනීම; කෙසින් ගැනීම.

කේශධාතු

නා.ප්‍ර. පූජනීය වස්තුවක් සේ සැලකෙන බුදුරජාණන්වහන්සේගේ හිසකෙස්.

කේශනාලීජලය

(පාරිභා.) නා. කේශාකර්ෂණයෙන් ඉහළට ඇද ගනු ලැබූ ජලය.

කේශමාර්ජනකෞශල

නා.ප්‍ර. හිසකෙස් පීරීමෙහි නිපුණතාව; මෙය සිව්සැට කලාවන්ගෙන් එකක් සේ සැලකේ.

කේශර

1. නා.ප්‍ර. මල් රේණු; මල්කෙසරු.
2. නා.ප්‍ර. සිංහයාගේ ගෙල වටා ඇති දිග ලොම්රැලි.
3. නා.ප්‍ර. කෙසරු ඇත්තා; සිංහයා.
4. නා.ප්‍ර. (ආරක්ෂාව පිණිස) ශාක පත්‍ර හා කඳන් මතුපිට සෛල එකකින් හෝ වැඩි ගණනකින් හටගන්නා සියුම් රෝම.
5. නා.ප්‍ර. මීමැසි ආදින්ගේ ශරීරයේ ඇති සියුම් කෙඳි වැනි රෝම.
6. නා.ප්‍ර. කෙන්ද; තන්තුව.
7. නා.ප්‍ර. රත්රන්.

කේශර සිංහයා

නා. බෙල්ලේ දිගු ලොම් ඇති සිංහයා; චතුර්විධ වූ සිංහ කුලවලින් එකකට අයත් සිංහයා.

කේශරඤ්ජන

නා.ප්‍ර. හිසකෙස් වර්ණ ගැන්වීම.

කේශලුඤ්චන

නා.ප්‍ර. හිසකෙස් ඇද කැඩීම; කෙස් ඉගිල්ලීම.

කේශව

නා.ප්‍ර. විෂ්ණු දෙවිඳු.

කේශාන්ත කර්මය

නා. හිසකෙස් කපා දැමීමේ ආගමික චාරිත්‍රය; ගෝදාන කර්මය.

කේශාන්තය

නා. හිසකෙස් ආරම්භ වන නළල් තලයේ සීමාව.

කේශික

(පාරිභා.) වි. කේශනාලිකා පිළිබඳ වූ.