සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 537

ඛගෝල ක්ෂිතිජය

නා. ආකාශ චක්‍රය හා පොළොව එකට ගැටුණාක් මෙන් දර්ශනය වන ස්ථානය; ක්ෂිතිජය.

ඛගෝල දේශාංශය

නා. ආකාශ චක්‍රය මත නියමිත ලක්ෂයකුත් ඒ අක්ෂාංශයම ඇති ව සම්මත ද්‍රැව වෘත්තයක් මත පිහිටි තවත් ලක්ෂයකුත් අතර කෝණික දුර.

ඛගෝල ධ්‍රැවය

නා. ආකාශ ගෝලයෙහි උතුරු කෙළවර සහ දකුණු කෙළවර.

ඛගෝල විද්‍යාව

නා. අහස් ගැබෙහි පිහිටි විවිධ වස්තු පිළිබඳ විද්‍යාව; ආකාශ වස්තු විද්‍යාව; තාරකා ශාස්ත්‍රය.

ඛගෝලය

නා. ආකාශ වස්තු සහිත අභ්‍යවකාශය; ආකාශ චක්‍රය; අහස් කුස; අහස් ගැබ; නභෝ ගර්භය.

ඛඞ්ග යෂ්ටිය

නා. කඩුවක අල්ලා ගන්නා කොටස; කඩුමිට.

ඛඞ්ග රත්නය

නා. රාජ්‍යත්වයේ ලක්ෂණය වශයෙන් රජුන් පරිහරණය කරන කකුධ භාණ්ඩ පහෙන් එකක්; මඟුල් කඩුව.

ඛඞ්ග ශිල්පය

නා. ද්වන්ද්ව යුද්ධය ඇතුළු කඩුවෙන් කෙරෙන නොයෙක් හරඹ උගන්වන ශාස්ත්‍රය; සිවුසැටකලාවලින් එකක් වන කඩු ශිල්පය.

ඛඞ්ගධාරා

නා.ප්‍ර. කඩු තලය; කඩුපත.

ඛඞ්ගය

නා. කඩුව; කග; අසිපත.

ඛචිත

1. වි. කවන ලද; ඔබ්බන ලද; සවි කරන ලද.
2. වි. ගැවසූ; සැරසූ.
3. වි. කැටයම් කරන ලද.

ඛජ්ජ

නා.ප්‍ර. කටින් කඩා කෑ යුතු කෑම වර්ග.

ඛජ්ජූර

නා.ප්‍ර. තාල වර්ගයට අයත් ගස් විශේෂයක්; ඉඳි; රටඉඳි.

ඛජ්ජෝතයා

නා. සිරුරින් එළිය විහිදුවන පියාඹන කෘමි විශේෂය; කලාමැදිරියා; කණමැදිරියා; කදෝපැණියා.

ඛඤ්ජ

වි. විකල වූ පා ඇති; කොර; පා වලංගු නැති.
නා.ප්‍ර. විකල වූ අත් පා ඇති බව; අත් පා කොරය; විකලාංග ඇති බව.

ඛට්වාඞ්ගය

නා. ඊශ්වර භක්තික යෝගීන් විසින් භාවිත කරන ලද්දා වූ ද මුදුනෙහි හිස්කබලකින් යුක්ත වූ ද යෂ්ටි විශේෂයක්.

ඛටිකා අවධිය

(පාරිභා.) නා. භූ විද්‍යාවේ සඳහන් වන ද්විතීය හෙවත් මෙසොසොයික යුගයට අයත් තුන්වැනි කාලපරිච්ඡේදය; හුණුගල් අවධිය.

ඛණ

නා.ප්‍ර. ඇසිපිය හෙළීමට ගත වන කාලය; ඇසිල්ල; මොහොත; නිමේෂය; ක්ෂණය.

ඛණනය

නා. හෑරීම; කැණීම.

ඛණපරිත්ත

නා.ප්‍ර. චිත්තක්ෂණයක් පමණ ඉතා සුළු කාල පරිච්ඡේදය.

ඛණ්ඩ

1. නා.ප්‍ර. කොටස; කැබැල්ල; කඩ; ඡේදය.
2. නා.ප්‍ර. කැඩුම; බිඳුම; පලුද්ද.
3. නා.ප්‍ර. උක් පැණියෙන් සාදන ලද වැලි හකුරු; සූකිරි; ගල්කණ්ඩු.
1. වි. කැඩුණු, බිඳුණු; කොටස්වලට වෙන් වුණු.
2. වි. හිදැස් සහිත; දෝෂවලින් කඩතොලු වූ.

ඛණ්ඩ කරනවා

ක්‍රි. කඩනවා; බිඳිනවා; කඩ කරනවා; අඩාල කරනවා.

ඛණ්ඩ කාව්‍යය

නා. මහා කාව්‍යයක් නොවන කෙටි කාව්‍යය; සර්ග වශයෙන් වෙන් නොකරන ලද හෙයින් එක දිගට ම පුවත කියාගෙන යා හැකි පද්‍ය කාව්‍යය.

ඛණ්ඩ ගණන

නා. පූර්ණ වශයෙන් නොපැවතී භාගයක් වශයෙන් තිබෙන සංඛ්‍යාව; භාග ගණන; ඛණ්ඩ සංඛ්‍යාව.