සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 536

කෞතුක වේදිකාව

නා. විවාහ මංගලෝත්සවයට අනුරූප ඇඳුම් වන පරිදි මනාලිය පැලඳුම්වලින් සරසන මණ්ඩපය; ප්‍රසාධන ශාලාව.

කෞතුකය

1. නා. (යමක්) දැකීමට ඇසීමට හෝ දැනගැනීමට ඇති ආශාව කුහුල; කුතුහලය.
2. නා. පුදුමය; අද්භූතභාවය; ආශ්චර්යය.
3. නා. විවාහ දිනයෙහි (විවාහ කරවීමට පෙර) මනාලියගේ වම් අතහි මන්ත්‍රයෙන් හෝ පිරිතෙන් හෝ පේ කරන ලදුව බඳින නූල; කවුතුකය; මඟුල්හුය.
4. නා. විවාහමඟුල; සරණ මංගල්‍යය.
5. (ප්‍ර. යෙදේ) (ජ්‍යෝති.) නා. ග්‍රහයන්ගේ අවස්ථා දොළහෙන් එකක්.

කෞතුකවස්තු

නා.ප්‍ර. ඓතිහාසික පුරාවිද්‍යාත්මක හා පුදුම එළවන සුලු වස්තු.

කෞතුකාගාරය

1. නා. කලාත්මක, සංස්කෘතික, ඓතිහාසික හා විද්‍යාත්මක වටිනාකමින් යුත් වස්තු එක්රැස් කොට ප්‍රදර්ශනය පිණිස තබා ඇති මන්දිරය; කෞතුක භාණ්ඩ ප්‍රදර්ශනාගාරය; කටුගෙය.
2. නා. විවාහප්‍රාප්ත අභිනව යුවළකගේ ශයනාගාරය.

කෞතුහලමාඞ්ගලික

නා. යහපත් ප්‍රතිඵල ගෙන දෙන පෙරනිමිති මේ මේ යැයි විස්තර කර දෙන්නා; සුබ නිමිති පවසන්නා; යහපත් අනාවැකි පවසන්නා.

කෞතූහලය

නා. අමුතු අමුතු දේ දැනගැනීමට පවත්නා ආශාව; කුතුහලය; කුහුල.

කෞපීනය

නා. විළි වසා ගැනීමට පමණක් ප්‍රමාණ වනසේ අඳින රෙදිකඩ; රෙද්දට යටින් අඳින රෙදිකඩ හෝ ඉතා කෙටි ඇඳුම; අමුඩය.

කෞමල

වි. කෝමල; මෘදු; සිනිඳු; මොළකැටි; සුකුමාර; සියුමැලි.

කෞමාර

වි. බාලකයකුට හෝ බාලිකාවකට හෝ අයත්; නොමේරූ වයසෙහි සිටින; තරුණ වියෙහි වූ.

කෞමාරතන්ත්‍රය

නා.ප්‍ර. ළමාරෝග චිකිත්සාව; කුමාර චිකිත්සාව; කෞමාරභෘත්‍ය.

කෞමුද

නා.ප්‍ර. සඳරැසින් පිපෙන බව කියන ජලජ පුෂ්ප වර්ගයක්; කුමුදු; හෙළ මහනෙල්; හෙළ උපුල්.

කෞරව

නා.ප්‍ර. කුරු වංශයට අයත්; කුරුරට වාසී.

කෞලිකයා

නා. රෙදි වියන්නා; පේෂකාර්මිකයා; පෙහෙරා.

කෞශල්‍ය යෝගය

නා. යමක ප්‍රවීණත්වය ලබා ගැනීම සඳහා කරන ව්‍යායාමය; කුශලතාව අත්පත් කිරීම සඳහා කරනු ලබන අභ්‍යාසය.

කෞශල්‍යය

නා. කූශලතාව; නිපුණත්වය; දක්ෂතාව; ශූරත්වය.

කෞශික

1. නා.ප්‍ර. පැරණි දඹදිව වංශයක්.
2. නා.ප්‍ර. සක්දෙවි.
3. නා.ප්‍ර. බකමූණා; මහමුහුණා.
4. නා.ප්‍ර. මුගටියා; නකුලයා.

කෞශීර

නා.ප්‍ර. (ජ්‍යෝති.) නැකැත් විසිහයෙන් දහඅට වැන්න වූ දෙට නැකත.

කෞශේය

නා.ප්‍ර. පටනූලින් වියන ලද වස්ත්‍රය; පටරෙද්ද; තිහිරි පිළිය.

කෞස්තුභ පාෂාණය

නා. විෂ්ණු දෙවිඳුගේ ළය මත පළඳින මැණික; කෞස්තුභමණිය; කොතබූගල.

කෞසීදය

නා. ණයට දුන් මුදලට ලබා ගන්නා අධික පොලිය; ගිනි පොලිය.

ඛ

1. නා.ප්‍ර. මිශ්‍ර සිංහල හෝඩියේ ‘ක’ වර්ගයේ දෙවන අකුර.
2. නා.ප්‍ර. කණ්ඩජ අඝෝෂ මහාප්‍රාණ ව්‍යංජනය.
3. නා.ප්‍ර. අහස; ආකාශය; ගුවන.

ඛග

1. නා.ප්‍ර. අහසේ ගමන් කරන්නා; කුරුල්ලා; පක්ෂියා.
2. (ජ්‍යෝති.) නා.ප්‍ර. රවි ආදි ග්‍රහයන් ගෙන් කවර හෝ ග්‍රහයෙක්.

ඛග්ගගාහක

නා. පැරණි සිංහල රාජ්‍යයේ රජුගේ පෞද්ගලික ආරක්ෂාව භාර නිලධාරියා; අසිග්ගාහක.

ඛග්ගවිසාණ

නා.ප්‍ර. කඟවේණා.