සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 538

ඛණ්ඩ ජනනය

නා. අංකුර සහිත අතු කැබලිවලින් පැළෑටි බෝකිරීමේ ක්‍රමය.

ඛණ්ඩ භූමදානය

නා. මෘත ශරීරවල හිස පමණක් කළවල දමා මිහිදන් කිරීමේ පුරාණ ඉන්දියානු සිරිත.

ඛණ්ඩකය

1. (පාරිභා.) නා. රසායන සංයෝගයක සංයුක්ත පරමාණු කොටස (=radical).
2. නා. ඉස්සන්, පණුවන් වැනි ඇතැම් සතුන්ගේ ශරීරය බෙදී තිබෙන සමාන කොටස් එක එකකට ව්‍යවහාර නාමය.

ඛණ්ඩනය

නා. කැබලිවලට කැඩීම; කොටස්වලට වෙන් කිරීම; ඉරි තැළීම.

ඛණ්ඩනය කරනවා

ක්‍රි. (මතිමතාන්තර ආදිය) බිඳ හෙළනවා.; පහර දී කඩනවා.

ඛණ්ඩපාදිකා

(පාරිභා.) නා.බහු. ප්‍රොටොසෝවා වංශික සතුන්ට තිබෙන ව්‍යාජ පාද,

ඛණ්ඩඵුල්ල

නා.ප්‍ර. ගොඩනැගිල්ලක කැඩුණු බිඳුණු ස්ථාන; කැඩුම් බිඳුම්; කඩතොලු.

ඛණ්ඩාංක

නා.ප්‍ර. එක ම තලයේ පිහිටා එකිනෙකින් ඡේදනය වන අක්ෂ දෙකක සිට ඕනෑ ම ලක්ෂ්‍යයකට ඇති දුර ප්‍රමාණ දෙක.

ඛණ්ඩාමලක

1. නා.ප්‍ර. නෙල්ලි ගෙඩිය.
2. නා.ප්‍ර. නෙල්ලි ගෙඩි වේලා කොටා ලබා ගන්නා කුඩු.

ඛණ්ඩිකාව

1. නා. කොටස; කුඩා කොටස.
2. නා. අවයව ආදියක ඉදිරියට නෙරා හෝ එල්බෙමින් පවත්නා කොටස.

ඛණ්ඩිත

1. වි. කොටස්වලට බෙදුණු; කැඩුණු; කැබලිවලට පත් වුණු; කැඩී බිඳී ගිය.
2. වි. අසම්පූර්ණ; අඩාළ; අර්ධ; පූර්ණත්වයට නොපත්.
3. වි. කලකිරීමට පත්; බිඳුණු; නොසතුටට පැමිණි.

ඛණ්ඩිත කරනවා

1. ක්‍රි. කැබලි කරනවා; කොටස්වලට වෙන් කරනවා; කපනවා; සිඳිනවා.
2. ක්‍රි. පැහැර හරිනවා; වරද්දනවා; කඩ කරනවා.

ඛණ්ඩෝත්පත්තිය

නා. (ඇමීබාවන් මෙන්) දෙකට බෙදී යෑමෙන් සතුන් බෝවීමේ ක්‍රමය.

ඛණික

වි. ක්ෂණයක් පමණ කාලයක් පවතින; ඇසිල්ලක් පමණ; වහා සිදු වන; ක්ෂණික.

ඛණිකවාදය

නා. සියලු සංස්කාර ධර්මයන් වහා වෙනස්වන සුලුය නැසෙන සුලුය යන මතය; ක්ෂණභංගුරවාදය.

ඛණිත්තිය

නා. බිම හෝ ගල් ආදිය හෝ හෑරීම සඳහා යොදනු ලබන උල; අලවංගුව; ගල්කටුව; යවුල.

ඛද්‍යෝතයා

නා. කලාමැදිරියා; කණමැදිරියා; කදෝපැණියා; කදෝකිමියා; ඛජ්ජෝතයා.

ඛදාර්

නා.ප්‍ර. යන්ත්‍ර මාර්ගයෙන් නොව අතින් කැට ගනු ලැබූ කපු නූල්වලින් වියන ලද ඔප නොදැමූ දළ වස්ත්‍රය.

ඛන්ධ

1. නා.ප්‍ර. (සිරුරෙහි) කඳ.
2. නා.ප්‍ර. ගසෙහි කඳ.
3. නා.ප්‍ර. (සත්වයාගේ රූප, වේදනා, සඤ්ඤා ආදි) පඤ්චස්කන්ධය.

ඛන්ධ රජනය

නා. කහට ඇති ගස්වල ලී කඳන් කැබලි තම්බා සිවුරු රංජනය සඳහා ගැනෙන පඬු වර්ගය.

ඛන්ධක

නා.ප්‍ර. විනය පිටකයේ මූලික ප්‍රභේද තුනෙන් එකක්.

ඛන්ධබීජ

1. නා.ප්‍ර. රෝපණය කිරීමට ගැනෙන අතු කැබලි.
2. නා.ප්‍ර. අතු කැබලිවලින් අංකුර නැඟෙන ශාක.

ඛනිජ

නා. අජෛවීය ක්‍රියාවලි ආශ්‍රයෙන් පොළෝ තුළ ස්වාභාවිකව පහළ වී ඇත්තා වූ ද්‍රව්‍ය.
1. වි. ඛනිජ සහිත; ඛනිජවල ඇතුළත්; ඛනිජවලට අයත්; ඛනිජ සම්බන්ධ.
2. වි. ආකරයෙහි උපන්; ආකරයෙන් සාරා ගන්නා ලද.

ඛනිජ උල්පත

(පාරිභා.) නා. කැල්සියම් කාබනේට, කැල්සියම් සල්ෆේට් හැර අන් ඛනිජ ද්‍රව්‍ය ප්‍රමාණවත් ව පවත්නා ජලය ඇති උල්පත.