සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 539

ඛනිජ තෙල්

නා.ප්‍ර. පොළොවෙන් ලබාගන්නා වූ හයිඩ්රොකාබන් බහුල වූ බලශක්තිය නිෂ්පාදනය සඳහා ගැනෙන්නා වූ තෙල් (=mineral oil).

ඛනිජ ලවණ

නා.ප්‍ර. (යකඩ කැල්සියම් සාමාන්‍ය ලුණු ආදි) ඛනිජවල අඩංගු අකාබනික ලවණ විශේෂය (=mineral salt).

ඛනිජ වැලි

නා.ප්‍ර. ඛනිජ වර්ග අඩංගු වැලි; සිලිකා වැලි.

ඛනිජ විද්‍යාව

(පාරිභා.) නා. ඛනිජ වස්තු පිළිබඳ උගන්වන ශාස්ත්‍රය (=mineralogy).

ඛපූරය

නා. කෙමියෙන් වතුර වත්කරන භාජන විශේෂයක්; කොතලය; කෙණ්ඩිය; ජෝගුව.

ඛමාපනය

නා. ක්ෂමා කරවා ගැනීම; සමාව අයැදීම.

ඛය

නා.ප්‍ර. ක්‍රමයෙන් ක්ෂය වී යෑම; කෙමෙන් නැති වී යෑම.

ඛයවය

නා.ප්‍ර. ක්‍රමයෙන් විනාශය කරා යෑම සහ විනාශ වී යෑම; ගෙවී යෑම සහ විනාශ වීම; ක්ෂයව්‍යය.

ඛර

1. වි. කර්කශ; කටුක; රළු; දැඩි.
2. වි. තියුණු; ක්‍රෑර; දරුණු.
1. නා.ප්‍ර. රළු ගතිය; කර්කශභාවය; කටුක බව.
2. නා.ප්‍ර. කපුටා.
3. නා.ප්‍ර. කොකා.

ඛර කෝෂ්ඨය

නා. මල පහ නොවන තරමට බඩ වියළීම; විරේක නොවන බව.

ඛරස්පර්ශ

වි. ගෑවෙන විට රළු ගතිය දැනෙන; ගොරහැඩි; කර්කශ; ගොරෝසු.

ඛර්ජුර

1. නා.ප්‍ර. ඉඳිගස.
2. නා.ප්‍ර. හිරියල්.

ඛර්පර

1. නා.ප්‍ර. වළං කබල; සිඟා කෑමට ගෙන යන කබල් බඳුන; හිඟ කබල.
2. නා.ප්‍ර. ඉස් මුදුන.
3. නා.ප්‍ර. ඇස ගල්වන අඳුන්.

ඛර්පරය

නා. රන් රිදී වැනි අගනා ලෝහ වර්ග පරීක්ෂා කිරීම සඳහා යොදා ගනු ලබන නොගැඹුරු කුඩා වටකුරු භාජනය.

ඛර්පරයා

නා. සොරා; චෞරයා.

ඛර්වටය

නා. විශාලත්වයෙන් හා දියුණුවෙන් ගමකට වඩා වැඩි නගරයකට වඩා අඩු ප්‍රදේශය; නියම්ගම්.

ඛර්වයා

නා. මිට්ටා; වාමනයා.

ඛරෝෂ්ටි

නා.ප්‍ර. ක්‍රි. පූ. 1 වන ශත වර්ෂය පමණ සමයේ දී වයඹ දිග ඉන්දියාවේ යවනයන් භාවිත කළ අක්ෂර මාලාව හා භාෂාව.

ඛල මණ්ඩලය

නා. ගොයම් පාගන ස්ථානය; ගොයම් මඩවන භූමි භාගය; කමත; කලවිට.

ඛලය

1. නා. ගොයම් කොළ මඬින තැන; කමත.
2. නා. පස්; පාංශු.
3. නා. ඖෂධීය ශාකවල කොළ, පොතු ආදිය ගෙන කසාය කොට එයින් පිස ගන්නා ලද සූපය.
4. නා. හිරු; සූර්යයා.

ඛල්ලකය

නා. විලුඹ පෙදෙස වැසෙන පරිදි පාවහනට යෙදූ ආවරණය; පාවහනේ විලුඹ වැසෙන කොටස.

ඛලාගාරය

නා. පාගන ගොයමෙහි වී රැස් කිරීම සඳහා කමතෙහි තනා ඇති ගෙය.

ඛලි

නා.ප්‍ර. පේසකාරයන් විසින් රෙදිවලට පෙවීම පිණිස පිළියෙල කරගනු ලබන කැඳ.

ඛලිත

1. වි. හැප්පුණු; පැකුලුණු; පටලැවුණු.
2. වි. වැරදුණු; වරද්දාගත්; සාවද්‍ය.