සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 556

ගඳකසට

නා. සුවඳ කරන ලද සායම්; සුවඳ පොවන ලද පඬු.

ගඳකිළි වැණිය

නා. ගඳකිළියේ පලය මුදුනේ ඇති කොත.

ගඳකිළිය

1. නා. සුවඳවත් කාමරය; විහාරස්ථානයක බුදුරදුන්ගේ වාසය සඳහා වෙන් කරනු ලැබූ කාමරය; බුදුරදුන් නිවැසි කුටිය; ගන්ධකුටිය.
2. නා. මහනුවර දළදා මැදුරෙහි දළදා හිමියන් වඩා හිඳුවනු ලැබ ඇති විශේෂ කුටිය.

ගඳතෙල

නා. පහන් දැල්වීම සඳහා ගනු ලබන සුවඳ කැවූ තෙල්; සුගන්ධ තෛලය.

ගඳදිය

නා.ප්‍ර. සුවඳ ද්‍රව්‍ය මිශ්‍ර කරන ලද වතුර; සුවඳ පැන්.

ගඳදුම්

නා.ප්‍ර. සුවඳ වර්ග දැවීම නිසා නඟින දුම; සුවඳ කුඩු ගින්නට බහා ලීමෙන් ඇති කරනු ලබන ධූමය; සුවඳ දුම.

ගඳපණ

නා. සුවඳ ද්‍රව්‍ය විකුණන වෙළෙඳ හල.

ගඳමල්

නා.ප්‍ර. සුවඳ ද්‍රව්‍ය හා මල්මාලා; සුවඳ මල්.

ගඳඹපුර

නා.ප්‍ර. (ජ්‍යෝති.) අහසේ පෙනෙන උල්කා දර්ශන විශේෂයක්.

ගඳයා

1. (කථා.) නා. පිළිකුල් කටයුතු ක්‍රියාවල නිරත තැනැත්තා; නීච ක්‍රියා කරන්නා; අධමයා.
2. (කථා.) නා. වළහා.

ගඳරොන්

නා.ප්‍ර. සුවඳ රේණු; සුවඳ සුණු.

ගඳවස

නා. සුවඳ වහනය වන ද්‍රව්‍ය; සුවඳ සුණු.

ගඳව්

1. නා.ප්‍ර. සංගීතය; සංගීත ශාස්ත්‍රය; ගාන්ධර්ව ශාස්ත්‍රය; ගාන්ධර්වය.
2. නා.ප්‍ර. සංගීතඥයා; ගාන්ධර්වයා; ගදඹා.
3. නා.ප්‍ර. දෙවියන්ගේ සංගීතඥයා; ගාන්ධර්ව යෝනියෙහි උපන් දෙවියා.

ගඳවිලවුන්

නා.ප්‍ර. ශරීරයෙහි ආලේප කරන හෝ අතුල්ලන සුවඳ ද්‍රව්‍ය; සුවඳ සුණු සහ සුගන්ධාලේප.

ගඳහැල්

නා.ප්‍ර. පිසූ විට සුවඳ හමන හැල් වී වර්ගයක්; සුවඳ හැල්; සුවඳැල්.

ගඳැතා

1. නා. දස ඇත්කුල අතුරින් ගන්ධ නම් කුලයට අයත් ඇතා; ගන්ධ හස්තියා.
2. නා. මද වෑහෙන ඇතා.

ගඳැව් දෙව්රජ

නා. ගාන්ධර්වයන්ට අධිපති දිව්‍යරාජයා; සතරවරම් දෙව්රජුන් අතරෙන් නැගෙනහිර දිශාව පාලනය කරන ධෘතරාෂ්ට්‍ර දෙව්රජ.

ගඳෙව් මඬල

නා. සංගීතඥයින්ගේ කණ්ඩායම; ගාන්ධර්ව මණ්ඩලය.

ගඳොළ

නා. බුදුරදුන් වැඩ විසූ ගඳකිළිය; ගන්ධකුටිය.

ගප්

නා.ප්‍ර. ගබ.

ගප් ගන්නවා

ක්‍රි. මවු කුසෙහි දරුවකු පිළිසිඳ ගන්නවා; දරු ගර්භයක් පිහිටනවා.

ගප්සාව

නා. දරු ගර්භය මුහුකුරා යන්නට පෙර මව් කුසින් බැහැරවීම; ගර්භස්‍රාවය; ගබ්සාව.

ගබ

1. නා. මවුකුස; මාතෘ කුක්ෂිය; ගර්භාසය.
2. නා. ඇතුළත; අභ්‍යන්තරය.
3. නා. කාමරය; කුටිය; ඕවරකය.
4. නා. ස්තුපයක බඳ; චෛත්‍ය ගර්භය.
5. නා. චක්‍රය; වගුව.
6. නා. නයාගේ පෙණ ගොබය.

ගබ පෙරහර

නා. දරු ගැබක් ඇති වූ පසු, ගර්භයත් මවත් සුරක්ෂිත වීම සඳහා අනුගමනය කරනු ලබන ශාන්තිකර්‍ම ආදි ක්‍රියාපටිපාටිය; ගැබිණි අවස්ථාවේ දී කළ යුතු උපචාර විධි.

ගබ හෙළනවා

ක්‍රි. දරු ගැබ මෝරා සම්පූර්ණ වීමට පෙර එය වැටෙන්නට සලස්වනවා; ගබ්සා කරනවා; ගර්භාපාතය කරවනවා.