සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 557

ගබගේ

1. නා. නිවසක ඇතුළු කාමරය.
2. නා. ශයනාගාරය; නිදන කාමරය; යහන්ගෙය.
3. නා. තිඹිරිගෙය; සූතිඝරය.

ගබඩාකරු

1. නා.ප්‍ර. බඩු ගබඩාවක් භාරව සිටින්නා; ගුදමක් බලා කියා ගන්නා; ගුදම්කරු.
3. නා.ප්‍ර. භාණ්ඩාගාරික.

ගබඩාකාරයා

නා. ගබඩාකරු.

ගබඩාගෙය

1. නා. ද්‍රව්‍ය ගබඩා කොට තැබීම සඳහා යොදවනු ලබන ගෙය; ගබඩාව.
2. නා. නිවසක ඇතුළු කාමරය; ගර්භගෘහය.

ගබඩාධාරිතාව

(පාරිභා.) නා. ගබඩාවක රැස්කර තැබිය හැකි ද්‍රව්‍යවල ප්‍රමාණය.

ගබඩාභාරකරු

නා.ප්‍ර. බඩු ගබඩාවක් භාර ව පාලනය කරන පුද්ගලයා.

ගබඩාමුල්

නා.ප්‍ර. සමහර ශාකවල ආහාර ගබඩා කිරීම සඳහා තිබෙන අලයක ආකාරය ගත් මුල්; ආකන්දි මුල්.

ගබඩාමූකලාන

නා. රජුට හෝ රජයට අයත් ලොකු ගස් සහිත මහ වනය; රජයේ කැලෑව.

ගබඩාව

1. නා. බඩුබාහිරාදිය රැස් කොට තබනු ලබන කාමරය, ශාලාව, ගොඩනැගිල්ල හෝ තැන; කොටුගුළ; කෝෂ්ඨාගාරය; ස්ටෝරුව.
2. නා. කාමරය; කුටිය; ඕවරකය.

ගබදල

නා.ප්‍ර. (තාල වර්ගයේ ගස්වල) මලෙහි බාහ්‍යාවරණය; කොළපුව; මල් කොපුව; ගර්භ පත්‍රය.

ගබපිහිටනවා

1. ක්‍රි. දරුවකු (මව්කුස) පිළිසිඳිනවා; ගැබ් ගන්නවා.
2. ක්‍රි. (ගොයම්) කරල ගස තුළ හටගන්නවා; ගොයම් බණ්ඩි වෙනවා.

ගබමල

නා. දරුවකු බිහි වන අවස්ථාවෙහි ගර්භයෙන් පිටවන අපවිත්‍ර ද්‍රව්‍ය; ගර්භමලය.

ගබවස

නා. මවුකුස තුළ වාසය කිරීම; මවු ගැබ තුළ සිටීම; ගර්භවාසය.

ගබ්දොර

1. නා. කාමරයේ දොර; නිවසේ ඇතුළු ගෙයක ඇති දොර.
2. නා. ගෙදර ඉදිරිපස දොරකඩ; ගෙට ඇතුළු වන ස්ථානය; දොරකඩ.

ගබ්බර

වි. ගැබේ බර දරාගෙන සිටින; දරු ගැබක් සහිත; ගර්භිණී ව සිටින; බඩදරු.
නා.ප්‍ර. දරු ගැබ.

ගබ්භවීසයා

නා. මවු ගැබේ සිටිනා කාලය ද ඇතුළත් ව විසිවස් පිරුණු පුද්ගලයා; පිළිසිඳ ගත් තැන් සිට විසි වයස සම්පූර්ණ කළ පුද්ගලයා.

ගබ්භසෙය්‍යක

වි. මව්කුස සිටින හෝ මව්කුස උපදින; මාතෘ ගර්භයෙහි සයනය කරන; කුස ඔත්.

ගබ්භසෙය්‍යකයා

නා. මවුකුසෙහි සිටින සත්ත්වයා; මවුකුස පිළිසිඳ ගෙන සිටින්නා.

ගබ්සාව

නා. දරු ගැබ දියවී යෑම හෝ දිය කිරීම; කලල රූපය විනාශ කිරීම හෝ විනාශ වීම.

ගබෙත්තුව

නා. පෙට්ටියක් හෝ ලාච්චුවක් තුළ තිබෙන (වටිනා ද්‍රව්‍ය බහා ආරක්ෂා කොට තැබීම සඳහා යොදන) කුඩා පෙට්ටිය; ගලෙත්තුව.

ගභීර

1. වි. ගැඹුරු; ගම්භීර; දැඩි; බලවත්; මුල් බැස ගත්.
2. (පාරිභා.) වි. යටින් පිහිටි; යටි ගැසුණු (ධමනි, ශිරා, ස්නායු ආදිය සම්බන්ධව යෙදේ).

ගම

1. නා. නගරයකට වඩා දියුණුවෙන් සහ ජන සංඛ්‍යාවෙන් අඩු වතුපිටි කුඹුරු ආදියෙන් යුත් කුඩා ජනාවාසය.
2. නා. ගම්මුලාදෑනියකුගේ බල ප්‍රදේශය; ගම්මුලාදෑනි වසම.
3. නා. උපන් පෙදෙස; ජන්ම ප්‍රදේශය.
4. නා. ස්ථිර පදිංචිය ඇති ප්‍රදේශය.

ගමක

1. වි. ගමන් කරන; ගමනේ යෙදෙන; යන.
2. වි. උතුම් ක්‍රියා මාර්ගයක් අනුගමනය කරන; යහමඟ යන.

ගමකතා

නා.ප්‍ර. ගැමියන් අතර පවතින මුඛ පරම්පරාගත කතන්දර; ජනකතා.