සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 555

ගන්ධර්ව විවාහය

නා. ආවාහ විවාහ වන දෙදෙනාගේ කැමැත්ත අනු ව සිදු වන සරණබන්ධනය.

ගන්ධර්වයා

1. නා. සංගීත ශාස්ත්‍රයෙහි නියැළි තැනැත්තා; සංගීතඥයා.
2. නා. සංගීතයෙහි නියුක්ත දේවතා විශේෂයක්.

ගන්ධරාග

නා. සුවඳට තදින් ඇලුම් කිරීම.

ගන්ධලෝහ

නා.ප්‍ර. පිත්තල.

ගන්ධවධු

නා. සුවඳවත් ස්ත්‍රිය; සුවඳ හමන සිරුරක් ඇති භාර්යාව.

ගන්ධවහයා

නා. නාභියෙහි කස්තුරි නම් සුවඳ ද්‍රව්‍ය ඇති මුවා; කස්තුරි මුවා.

ගන්ධවාහය

නා. ගඳ සුවඳ ගෙන එන්නා; සුළඟ; වාතය.

ගන්ධවිලේපන

නා.ප්‍ර. ශරීරයෙහි ගල්වනු ලබන සුවඳ ද්‍රව්‍ය; සුවඳ විලවුන්.

ගන්ධස්නායු

නා.ප්‍ර. ගඳ සුවඳ පිළිබඳ සංඥා නාසයේ සිට මොළය කරා ගෙන යන ස්නායු.

ගන්ධසාර

නා.ප්‍ර. සුවඳ සහිත වෘක්ෂයක්; සුදු හඳුන්.

ගන්ධානුබද්ධ

වි. ප්‍රිය මනාප ගන්ධයෙහි බැඳුණු; සුවඳට ලොල් කරන; ගන්ධයෙහි ආසක්ත.

ගන්ධාපණය

නා. සුවඳ විකුණන වෙළඳ හල.

ගන්ධායතනය

නා. ගඳ සුවඳ දැනගැනීමට උපකාර වන ඝ්‍රාණේන්ද්‍රිය; නාසය.

ගන්ධාරම්මණය

නා. ඝ්‍රාණේන්ද්‍රියට ගෝචරවන අරමුණ.

ගන්ධික

වි. සුවඳින් යුතු; සුවඳවත්.

ගන්ධිකයා

1. නා. පූජා ආදියේ දී කපුරු ආදි සුවඳ ද්‍රව්‍යයෙන් දුම් අල්ලන තැනැත්තා.
2. සුවඳ ද්‍රව්‍ය සාදන්නා; ගන්ධකාරයා.

ගන්ධිත

වි. සුවඳවත් කරන ලද; සුවඳ කවනු ලැබූ.

ගන්ධෝලි

නා.ප්‍ර. භක්ක; හකු පාඩාව.

ගන්නවා

1. ක්‍රි. (අතින් හෝ වෙනත් දෙයකින්) යමක් තමන් වෙතට පත් කරනවා; ඇරගන්නවා; අසු කරනවා; ග්‍රහණය කරනවා; අයිති කර ගන්නවා.
2. ක්‍රි. යටත් කරනවා; බලෙන් අත්පත් කරනවා.
3. ක්‍රි. (මල්පල ආදිය) හටගන්නවා; දරනවා; ඇති වෙනවා.
4. ක්‍රි. අදහනවා; විශ්වාස කරනවා; සැලකිල්ලට භාජන කරනවා; පිළිගන්නවා.
5. ක්‍රි. සුවඳ ආදිය ගල්වනවා; ගානවා; ආලේප කරනවා; තවරනවා.
6. ක්‍රි. කනවා; අනුභව කරනවා; පාවිච්චි කරනවා; බොනවා; ආහාර පාන භුක්ති විඳිනවා.

ගනිච්චිය

(කථා.) නා. හිතට ගැනීමේ ඕනෑකම; මතකය.

ගනුදෙනුව

1. නා. මුදල් හදල් හෝ භාණ්ඩ හුවමාරුව; මිලට ගැනීම සහ විකිණීම.
2. නා. අතමාරුවට ණයක් දීම සහ ගැනීම.

ගඳ

1. නා. නාසයට දැනෙන ගුණය; ගඳ සුවඳ.
2. නා. සුවඳ ද්‍රව්‍ය හෝ සුවඳ දුම්; සුගන්ධය වහනය වන දෑ; සිරුරෙහි ගල්වන සුවඳවත් ආලේප.
3. නා. ගෙන්දගම්; ගන්ධක.

ගඳ සුන්න

1. නා. කුඩු කර ගන්නා ලද සුවඳ ද්‍රව්‍ය; දුම් දීමට ගනු ලබන (කට්ටකුමංජල් වැනි) සුවඳ වර්ගවල කුඩ.
2. නා. සිරුරේ තැවරීම සඳහා පිළියෙල කරනු ලැබ ඇති සුවඳ සුණු; පුයර.

ගඳකලල

1. නා. සුවඳ ද්‍රව්‍ය අඹරා සකස් කර ගනු ලැබූ කල්කය; සුගන්ධ විලේපනය.
2. නා. සුවඳ කරන ලද මැට්ට හෙවත් මඩ.