සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 561

ගම්වසම

නා. ගමරාල සතු ප්‍රදේශය; ගම් ප්‍රධානියා සතුව තිබුණු කුඹුරු ඉඩම් තීරුව.

ගම්වාස

වි. ගමේ (අරමෙහි) වාසය කරන; ග්‍රාමවාසී; ආරාමවාසී.

ගම්වාසය

නා. ගමෙහි විසීම; ගම ආශ්‍රිත ආරාමයෙහි වාසය කිරීම; ග්‍රාමවාසය.

ගම්වැටුප්

නා.ප්‍ර. (පුරාණ රජවරුන් විසින්) ත්‍රිපිටකය හැදෑරීමෙහි නියුතු ග්‍රාමවාසී භික්ෂූන් සඳහා දෙන ලද දීමනා.

ගම්වැසි

1. වි. ගමෙහි වෙසෙන; ගමෙහි ජීවත්වෙන; ග්‍රාමවාසී.
2. වි. ගැමියන් ව්‍යවහාර කරන; ග්‍රාම්‍ය.

ගම්වැසියා

නා. ගමේ වාසය කරන්නා; ගැමියා; ග්‍රාමවාසියා.

ගම්විත්තිය

නා. ඉඩම් හබය; ඉඩම් ආරාවුල; ඉඩමක් ගැන ඇතිවන කලහය; ගම්හබය.

ගම්සභා උසාවිය

නා. ගම්බද සුළු නඩු විසඳන විනිශ්චය ශාලාව; ගම්බද උසාවිය.

ගම්සභාපති

1. නා. ගම්කාර්ය සභාවේ ප්‍රධානත්වය දරන්නා; ගම් සභාවේ සභාපති.
2. නා. ගම්සභා උසාවියේ නඩුකාරයා.

ගම්සභාව

1. නා. ගම්බද පෙදෙස්වල පාලනය සඳහා ගම්වැසියන්ගේ ඡන්දයෙන් පත් වුණු පාලන මණ්ඩලය.
2. නා. ගම්බද සුළු නඩු විසඳන විනිශ්චය ශාලාව; ගම්සභා උසාවිය.

ගම්හබය

නා. ඉඩකඩම් සඳහා ඇති කරගනු ලබන ආරාවුල; ඉඩම් හබය; ඉඩම් නඩුව.

ගම්‍ය

1. වි. තේරුම් ගත හැකි; අවබෝධ කරනු ලැබිය හැකි.
2. වි. හැඟී යන; කෙළින්ම ප්‍රකාශ නොවෙතත් කරුණු අනුව නිගමනය කරනු ලැබිය හැකි.

ගම්‍යමාන

වි. හැඟෙන; වැටහෙන; අදහස් කරනු ලබන.

ගම්‍යමානාර්ථය

නා. අදහස් කැරෙන තේරුම; හැඟී යන අර්ථය.

ගම්‍යාකාරය

නා. හැඟෙන අයුර; වටහාගත යුතු අයුරු; ව්‍යංග්‍යයෙන් ප්‍රකාශ වන ස්වරූපය.

ගම්‍යාර්ථය

නා. වටහා ගත යුතු අදහස; ව්‍යංග්‍යාර්ථය.

ගමික

වි. ගමනෙහි යෙදුණු; ගමන් කරන.
1. නා.ප්‍ර. ගමනක් යන්නා; ගමන් කරන්නා; මාර්ගිකයා.
2. නා.ප්‍ර. තැනින් තැන යන භික්ෂුව.
3. නා.ප්‍ර. ගම්වැසියා; ගැමියා.

ගමිකභත්තය

නා. චාරිකාවේ යෙදී සිටින භික්ෂුවකට පිරිනමනු ලබන දානය; ගමිකබත.

ගමිකභික්ෂුව

නා. චාරිකාවෙහි යෙදෙන භික්ෂුව.

ගමිකවත

නා. චාරිකාවෙහි යෙදෙන භික්ෂුව විසින් පිළිපැදිය යුතු විනයානුකූල පිළිවෙත.

ගමිත

වි. අදහස් කරන ලද; අභිප්‍රේත.

ගමිස

නා. ගම් ඉස; ගමේ ඉහළ කෙළවර; ගමේ ඉස්මත්ත.

ගය

1. නා. පාලි භාෂාවෙන් රචිත පද්‍යය; ගාථාව.
2. නා. ගායනා කිරීම; ගායනය; ගැයීම.

ගයනවා

ක්‍රි. තාලානුකූලව මිහිරි නාදයෙන් කියනවා; ගායනා කරනවා.