සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 560

ගම්පිඬිය

නා. ගමේ මුලාදෑනියාට ගෙවිය යුතු පංගුව; ග්‍රාම පිණ්ඩය.

ගම්පියස

නා. මිනිසුන් පදිංචි ප්‍රදේශය; ගම් පෙදෙස.

ගම්පොළයා

නා. සියුම් කපටි නුවණ ඇත්තා; කූට බුද්ධි සම්පන්නයා.

ගම්බද

වි. ගම හා සම්බන්ධ; ගමට අයත්.

ගම්බාරයා

(කථා.) නා. ගමේ මුලාදෑනියා.

ගම්බික

නා.ප්‍ර. ගමෙහි පිඬු සිඟීමෙන් (භික්ෂුවකට) ලැබෙන ආහාරය; ගමෙන් ලැබෙන පිණ්ඩපාත දානය.

ගම්බෙත්මය

නා. ඉඩම් බෙදීම; ඉඩම් වෙන් කර ගැනීම.

ගම්භාර දේවතාවා

නා. ගමක් භාර ව සිටිතැයි සැලකෙන දේවතාවා; ගමට අධිගෘහිත දේවතාවා; සූනියම් දේවතාවා.

ගම්භීර

1. වි. මතුපිට සිට පතුලට (ප්‍රමාණානුකූලව) වැඩි දුරක් ඇති.
2. වි. ඈතට විහිදී ගිය; පුළුල්; ගැඹුරු.
3. වි. මහත් සේ පැතිර යන.
4. වි. දුරට විමසා බැලීමේ නුවණ ඇති; සියුම් නුවණින් තේරුම් ගත යුතු.
නා.ප්‍ර. (ගංගා, මුහුදු ආදියේ) පතුලේ සිට මතුපිටට දුර; භාජන ආදියේ ද්‍රව්‍ය අල්ලන හරියේ උස; ඝන ප්‍රමාණය.

ගම්භීරාරණ්‍යය

[ගම්භීර + ආරණ්‍යය]
නා. මහත් වූ කැලෑව; ඇතුළට විහිද ගිය ඝන වනය.

ගම්භීරාර්ථ

[ගම්භීර + අර්ථ]
නා.ප්‍ර. තේරුම් ගැනීමට අපහසු අර්ථය; ගැඹුරු තේරුම.

ගම්මඩුව

නා. ගමට සෙත් ශාන්තිය පතා ගම්මුන් එකතු ව පවත්වන දේවපූජා විශේෂයක්.

ගම්මණ්ඩිය

1. නා. ගෙවල් ගණනක් තිබෙන කුඩා ගම් පෙදෙස; ගම්ගොඩ.
2. නා. කුඹුරු යාය ආදියෙන් ඔබ්බෙහි වූ ගමේ ගෙවල් තිබෙන ප්‍රදේශය; ගම්මානය.

ගම්මහ

1. නා. ගමේ කටයුතු භාරව සිටි නිලධාරියා; ගමේ ප්‍රධානයා.
2. (කථා.) නා. යකඩ වැඩ කරන්නා; කම්මල් ආචාරියා.

ගම්මානය

නා. එකයායට ගෙවල් තිබෙන ප්‍රදේශය; ගම්මණ්ඩිය; ගම්මැද්ද.

ගම්මැදි හෑල්ල

නා. ගමේ ගොඩේ පවතින වැඩකට නැති නිස්සාර කතාව; තේරුමක් නැති කතාව; ප්‍රලාපය.

ගම්මුදල

1. නා. ගමෙන් ලැබෙන ආදායම.
2. නා. ගමේ ගෙවල් පිහිටි භූමි භාගය.

ගම්මුදලියා

නා. ගමක පාලනය භාර ව සිටි ප්‍රධාන නිලධාරියා; ගම්පතියා; ග්‍රාම භෝජකයා.

ගම්මුලාදෑනියා

නා. රජය වෙනුවෙන් ගමේ කටයුතු භාර ව සිටින නිලධාරියා; ගම්පති.

ගම්රාජකාරිය

නා. රජයෙන් ලැබුණු ඉඩම හෝ ඉඩම් වෙනුවෙන් ප්‍රදේශීය රදළවරයාට ඉටු කළයුතු මෙහෙවර; ඉඩම් වෙනුවෙන් කළ යුතු රාජකාරිය.

ගම්ලද

1. වි. (රජුගෙන්) ගම්වර ලැබූ.
2. වි. බලාත්කාරයෙන් අන්සතු ඉඩම් අල්ලාගත්; ඉඩම් කොල්ලකාගත්.

ගම්ලදුවා

1. නා. රජුගෙන් ගම්වර ලත් තැනැත්තා.
2. නා. නින්දගම් හිමියා.
3. නා. ගමක ආදායම සහ සේවා බුක්ති විඳින තැනැත්තා; ගම්මුදලියා; ග්‍රාමභෝජකයා.

ගම්වදිනවා

නා. ගමට ප්‍රවේශ වෙනවා; ගමට ඇතුළු වෙනවා.

ගම්වර

1. නා.ප්‍ර. විහාර දේවාල ආදියෙන් නඩත්තුව සඳහා දෙනු ලබන ගම් හෝ ඉඩම්.
2. නා.ප්‍ර. කරන ලද සේවා වෙනුවෙන් රාජරාජමහාමත්‍යාදීන් විසින් තෑගි කරනු ලබන භූමි භාගය; ගම්ලද්දන් ලැබූ භූමි ප්‍රදේශය.
3. නා.ප්‍ර. උතුම් ගම; සරුසාර ග්‍රාමය.