සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 577

ග්‍රහස්ඵුට

(ජ්‍යෝති.) නා.ප්‍ර. යම් කාල මුහුර්තයක දී ග්‍රහයකුගේ නිශ්චිත පිහිටීම; තත්කාලයේ දී නිවැරදිව ම ග්‍රහයකු සිටින ස්ථානය.

ග්‍රහසුළං

නා.ප්‍ර. ධ්‍රැවාසන්න ප්‍රදේශවල සිට සෞම්‍යකලාපික ප්‍රදේශ දිසාවට හමනු ලබන වායුධාරා; මූලික සුළං.

ග්‍රහීතෘ

(දර්ශන) නා.ප්‍ර. ඉන්ද්‍රියයන් විසින් සිත වෙත පමුණුවන විෂය පදාර්ථයන් බුද්ධියේ මෙහෙයවීම අනුව ලබා ගන්නා තැනැත්තා; ආත්මය.

ග්‍රාම ඝාතකයා

නා. ගම් පහරන සොරා.

ග්‍රාම ජ්‍යෙෂ්ඨයා

නා. ගම්දෙටුවා; ගමේ නායකයා.

ග්‍රාම ද්වාරය

නා. ගමට ඇතුළු වන දොරටුව; ගම් දොර.

ග්‍රාම ධර්මය

නා. ස්ත්‍රි පුරුෂ සංසර්ගය; මෛථුන සේවනය.

ග්‍රාම භෝජකයා

නා. ගමේ ප්‍රධානයා; ගමේ පරිපාලක නිලධරයා.

ග්‍රාම වාසය

නා. ගම ඇසුරු කොට වාසය කිරීම.

ග්‍රාම සීමාව

නා. ගමේ මායිම; ගමේ ඉම.

ග්‍රාමක්ෂේත්‍රය

1. නා. ගමට අයත් කෙත්යාය.
2. නා. ගම් පෙදෙස.

ග්‍රාමජාත

වි. ගමේ උපන්.

ග්‍රාමණිකාව

නා. ගමෙහි වෙසෙන ස්ත්‍රිය; ගැමි ලිය.

ග්‍රාමණී

නා.ප්‍ර. ගම් ප්‍රධානයා; ග්‍රාම නායකයා; ගමේ පාලකයා.

ග්‍රාමදාරක

නා.ප්‍ර. ගම් වැසි දරුවා/ දැරිය.

ග්‍රාමය

1. නා. නගරයෙන් පිටත ජනයා වාසය කරන ප්‍රදේශය; ගම.
2. නා. ජන සමූහය; සමූහය.
3. නා. ෂඩ්ජ ආදි සංගීත ස්වර සමූහය.

ග්‍රාම්‍ය

1. වි. ගම ඇසුරෙහි වූ; ගම්බද.
2. වි. සභ්‍ය ලෙස නොසැලකෙන; ශිෂ්ට නොවූ.

ග්‍රාම්‍ය දෝෂය

නා. පද්‍ය කාව්‍ය හා ගීත නිබන්ධයෙහි දී ශිෂ්ට නොවූ වචන හෝ අශ්ලීල අර්ථ ඇතුළත් කිරීමේ දෝෂය.

ග්‍රාම්‍ය ප්‍රයෝගය

නා.ප්‍ර. ශිෂ්ට නොවන රචනා විධි; අව්‍යක්ත යෙදුම්.

ග්‍රාම්‍ය භාෂාව

නා. අව්‍යක්ත භාෂාව; ගැමි වහර.

ග්‍රාම්‍ය වාසය

නා. ගම ඇසුරු කොට විසීම.

ග්‍රාම්‍යය

නා. අශිෂ්ට වචන යෙදීම.

ග්‍රාම්‍යාර්ථය

නා. ගැමි අරුත; නොසරුප් සිතිවිල්ල.

ග්‍රාම්‍යාලාප

නා.ප්‍ර. අසභ්‍ය කථා; නොසරුප් බස්.