සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 576

ග්‍රන්ථිත

1. වි. අමුණන ලද; වියන ලද; ගොතන ලද.
2. වි. රචනය කරන ලද.
3. වි. තේරුම් ගන්නට අමාරු; ගැටපද සහිත වූ.

ග්‍රන්ථිපද විවරණය

නා. දුරවබෝධ පදවල අර්ථ පැහැදිලි කරමින් ලියන ලද ග්‍රන්ථය; ගැටපද විවරණය.

ග්‍රන්ථිම

නා.ප්‍ර. (දඬු හෝ නටු එකට තබා) ගොතන ලද මල්දම; මල්මාලාව.

ග්‍රන්ථිය

(පාරිභා.) නා. ශරීරයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය වන නොයෙකුත් ස්‍රාව නිපදවන ඉන්ද්‍රියය (=gland).

ග්‍රසනිකාව

නා. ගලනාලයේ උඩු කොනත් ශ්වාස නාලයත් නාසා කුහරයත් හමු ව උගුරු බිලයේ සැදෙන තුන් සන්ධියට අයිති කොටස.

ග්‍රස්ත

1. වි. අල්ලා ගන්නා ලද; ග්‍රහණය කළ.
2. වි. වළඳනා ලද; කන ලද.

ග්‍රහ දෝෂය

නා. (ජ්‍යෝති.) ග්‍රහයන් ගෙන් සිදු වෙතැයි සැලකෙන පීඩාව; ග්‍රහ අපලය.

ග්‍රහ පූජාව

නා. ග්‍රහ අපල දුරු කර ගැනුම පිණිස ග්‍රහයන්ට කරනු ලබන පූජා විශේෂය; ග්‍රහයන්ගෙන් සිදුවන අපල දුරු කර ගැනීම උදෙසා කෙරෙන ශාන්ති කර්මය.

ග්‍රහ බලය

නා. (ජ්‍යෝති.) කේන්ද්‍රයක ග්‍රහයන් පිහිටා ඇති භාව හා තත්ත්ව අනු ව ඒ ඒ ග්‍රහයා සතුවන බලය; මෙය පස් වැදෑරුම් වේ.

ග්‍රහ මණ්ඩලය

නා. ග්‍රහ සමූහයා, සූර්යයා සහ පෘථිවිය ඇතුළු ග්‍රහලෝක සමූහය.

ග්‍රහ මුල්කඩ

නා. මනාලිය මනාලයාගේ නිවසට කැන්දා ගෙන යාමේ දී මනාලියගේ මාපිය නෑදෑයන් විසින් රැගෙන යනු ලබන ආහාර, ගෘහභාණ්ඩ ආදිය; ගෘහ මුල්කඩ.

ග්‍රහ යුද්ධය

(ජ්‍යෝති.) නා. ග්‍රහයන් දෙදෙනකු එක ම රාශියේ එක ම අංශක කලාවල ගමන් කිරීමේ දී ඇති වෙතැයි පැවසෙන අන්‍යෝන්‍ය ප්‍රතිවිරුද්ධ ගැටුම.

ග්‍රහ රාශිය

නා. තාරකා සමූහය; තරු පෙළ.

ග්‍රහ ලෝකය

නා. ග්‍රහ තාරකාව; ග්‍රහ වස්තුව.

ග්‍රහ ශාන්තිය

නා. ග්‍රහයන්ගෙන් සිදුවන අපල උවදුරු දුරුකර ගැනුම පිණීස පැවැත්වෙන බලිපූජා කර්මය; ශාන්ති කර්මය.

ග්‍රහ සමාගම

1. (ජ්‍යෝති.) නා. චන්ද්‍රයා හා සමග අන්‍ය ග්‍රහයකු ඒකරාශීවීම.
2. නා. පස් දෙනකුට වඩා ග්‍රහයන් ඒකරාශීගත වීම.

ග්‍රහචාරය

නා. ග්‍රහයන්ගේ හැසිරීම.

ග්‍රහණය

1. නා. ගැනීම; අල්ලා ගැනීම.
2. නා. ඉගෙනීම; උද්ග්‍රහණය.
3. නා. අත; හස්තය.
4. නා. බන්ධනය; බැඳීම.
5. නා. ආදරය; ප්‍රේමය.
6. නා. සූර්ය ග්‍රහණය හෝ චන්ද්‍ර ග්‍රහණය.

ග්‍රහණිය

1. නා. ක්ෂුද්‍රාන්ත්‍රයේ මුල් කොටස; ආමාශයේ සිට ශුන්‍යාන්ත්‍රකය තෙක් කොටස.
2. නා. ග්‍රහණි රෝගය.
3. වි. ගත යුතු; අල්ලා ගත යුතු.

ග්‍රහණිරෝගය

නා. ග්‍රහණියෙහි හට ගන්නා රෝගය; බඩෙහි වේදනාව සහිත මල පහවීම.

ග්‍රහපති

නා. ග්‍රහ තාරකාවගේ ප්‍රධානයා; ග්‍රහ නායකයා; සූර්යයා.

ග්‍රහයා

1. නා. අවකාශයෙහි සූර්යයා වැනි තාරකාවක් වටා භ්‍රමණය වෙමින් එයින් ආලෝකය ලබන වස්තුව.
2. (ජ්‍යෝති.) නා. රවි, චන්ද්‍ර ආදි ග්‍රහයන් නවදෙනාගෙන් එකෙක්.

ග්‍රහයෝගය

1. (ජ්‍යෝති.) නා. ග්‍රහයකු සුබ හෝ අසුබ ඵල ගෙන දීමේ බලයෙන් යමකුගේ තත්කාල කේන්ද්‍රයේ කිසියම් භාවයක යෙදීම.
2. (ජ්‍යෝති.) නා. ග්‍රහයන් දෙදෙනකු හෝ වැඩි දෙනකු කේන්ද්‍රයක එකම රාශියක යෙදීම; ග්‍රහ සංයෝගය.

ග්‍රහලෝකාගාරය

නා. සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහ තාරකාවන්ගේ ආකෘතිය හා ඔවුන් ගමන් කරන ආකාරය ආලෝක ධාරා උපයෝගී කොටගෙන ප්‍රදර්ශනය කරන (ස්තූපාකාර) ගර්භාගාරය.