සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 630

චතුස් සංග්‍රහ වස්තුව

නා. රජදරුවන් විසින් කරන ප්‍රජා සංග්‍රහයට කාරණා වන දානය, ප්‍රිය වචනය, අර්ථචර්යාව, සමානාත්මතාව යන වස්තු හතර සිවු සඟරාවත.

චතුස්කන්ධ

නා.ප්‍ර. වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන නාම ස්කන්ධ සතර.

චතුස්තලය

(පාරිභා.) නා. ත්‍රිකෝණාකාර මුහුණත් සතරකින් යුත් බහු තලය; ත්‍රිකෝණාකාර ආධාරයක් මත වූ පිරමීඩය; මුහුණත් සතරකින් යුත් ඝනය (=tetrahedron).

චතුස්සත්‍යය

නා. (අභි.) (බුදුරජාණන් වහන්සේ විසින් දේශිත) දුක්ඛ, දුක්ඛ සමුදය, දුක්ඛ නිරෝධ, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා යන සත්‍ය සතර.

චතුස්සාගර

නා.ප්‍ර. මහාමේරුව වටා පිහිටා ඇතැයි සැලකෙන රත්න සාගරය, පළිඟු සාගරය, ස්වර්ණ සාගරය හා මැණික් සාගරය යන සතර; සතර සයුර.

චන්ද

නා.ප්‍ර. සඳ; චන්ද්‍රයා.

චන්දන

නා.ප්‍ර. සඳුන්; සඳුන් ලීයෙන් පිළියෙල කරගන්නා කල්කය.

චන්ද්‍ර

1. නා.ප්‍ර. සඳ.
2. නා.ප්‍ර. මොනරපිල අග වූ ඇස; සඳැස.
3. නා.ප්‍ර. මුතු ඇටය.
4. නා.ප්‍ර. ජලය.

චන්ද්‍ර කාන්තිය

නා. චන්ද්‍ර ප්‍රභාව; සඳ කැන්; සඳ කැල්ම.

චන්ද්‍ර කේන්ද්‍රය

නා. (ජ්‍යෝති.) යමකුගේ උපතේ දී ග්‍රහයන් පිහිටි රාශි සටහනට අනු ව චන්ද්‍රයා පිහිටි රාශිය ලග්නය වශයෙන් ගෙන සාදා ගනු ලබන රාශි සටහන.

චන්ද්‍ර ග්‍රහණය

නා. සඳ රාහු ඇල්ලීම; පොළොවේ හෙවනැල්ල සඳ මත වැටෙන සේ සූර්යයාත් පොළො‍වත් හඳත් එක එල්ලේ පිහිටීම.

චන්ද්‍ර තාලම

නා. සිංහල නාට්‍ය කලාවේ දැක්වෙන දෙතිස් තාලමෙන් එකක්.

චන්ද්‍ර පර්වතය

නා. සාමුද්‍රිකා ශාස්ත්‍රයට අනු ව අල්ලේ ජීවන රේඛාව හා මාතෘ රේඛාව අතර පිහිටි මැණික් කටුව දෙසට විහිද යන උස් කොටස.

චන්ද්‍ර ප්‍රභාව

නා. සඳ එළිය, සඳ රැස්.

චන්ද්‍ර මාසය

නා. චන්ද්‍රයා පොළොව වටා එක් වරක් යාමට ගතවන කාලය පදනම් කර සකස් කර ගන්නා කාල මාන ඒකකයක්; මාසේ පෝය දෙකක් අතර කාලය.

චන්ද්‍ර වර්ෂය

නා. චන්ද්‍රයාගේ ගමන පදනම් කර ගෙන ගණන් ගන්නා වර්ෂය; බක්, වෙසක්, පොසොන් ආදි වශයෙන් වූ මාස දොළොසක කාලය.

චන්ද්‍ර ස්ඵුටය

නා. (ජ්‍යෝති.) යම් භාවයක චන්ද්‍රයා ගෙවා ඇති කාලය පිළිබඳ සටහන.

චන්ද්‍ර හෝරාව

නා. සතියේ එක් එක් දවස එක් එක් ග්‍රහයාට අනු ව ගණනය කිරීමේ දී චන්ද්‍රයාට හිමිවන හෝරා කාලය.

චන්ද්‍රකලාව

නා. චන්ද්‍රයාගෙන් සොළොසින් කොටස.

චන්ද්‍රකාන්ත පාෂාණ

නා. සඳකැන් පහණ.

චන්ද්‍රරාග

නා.ප්‍ර. සිරුරෙහි ගල්වන සඳුන් ආලේපය; චන්දන කල්කය.

චන්ද්‍රලේඛා

නා.ප්‍ර. අමාවකට පෙර හෝ පසුව රේඛාවක් සේ පෙනෙන සඳ, චන්ද්‍ර රේඛාව.

චන්ද්‍රවංකය

නා. (නව.) අර්ධ කවාකාර මාර්ගය; මාර්ගයක පිහිටි අර්ධ කවාකාර වංගුව.

චන්ද්‍රශේඛර

1. නා.ප්‍ර. (හිසෙහි සඳ දරන්නා යනු වාච්‍යාර්ථයි) ඊශ්වර දෙවියා; සඳසිළු.
2. (ජ්‍යෝති.) නා.ප්‍ර. නැකතක නාමය; අද නැකත.