සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 657

ජනකාය

නා.ප්‍ර. මනුෂ්‍ය සමූහයා; ජනසන්නිපාතය; මනුෂ්‍ය සංහතිය.

ජනගහනය

1. නා. රටක හෝ ප්‍රදේශයක හෝ වාසය කරන මනුෂ්‍ය සංඛ්‍යාව.
2. නා. අධික මනුෂ්‍ය වාසය; ජනාකීර්ණය.

ජනගායනා

නා.ප්‍ර. පැරණි ජනකවි ආදිය නව්‍ය ගීතමය ස්වරූපයෙන් ගායනය කිරීම.

ජනගී

නා.ප්‍ර. පොදු ජනයා අතර ප්‍රචලිත සාම්ප්‍රදායික පද්‍ය බන්ධන; ගැමි ගී.

ජනජීවනය

නා. ජනයා විසින් නිපදවනු ලබන ජන ඇඳුම් පැලඳුම්, ගෘහ නිර්මාණ, ජන කලා ශිල්ප.

ජනතා පරමාධිපත්‍යය

නා. පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් ඇති රටක විධායක, ව්‍යවස්ථාදායක හා අධිකරණමය සංයුතියෙන් යුත් රාජ්‍ය නියමු කාරකය ඇති කිරීමෙහි ලා එම රාජ්‍යයේ ජනතාව සතුව පවත්නා ඉහළ ම අධිකාර බලය.

ජනතා ස්වාධිපත්‍යය

(පාරිභා.) නා. තමන් විසින් ම තමන් පාලනය කර ගැනීමේ ජනතා ස්වෛරී බලය.

ජනතාකරණය

නා. රජය සතු ව පැවති ව්‍යාපාරාදිය ජනතාව (හෝ ජනතා නියෝජිතයන්) සතු කිරීම.

ජනතාන්ත්‍රීය

වි. ජනසම්මත පාලනයට අයත්; මහජන නියෝජිතයන් මඟින් පාලනය වන.

ජනතාව

නා. (රටක වසන) මිනිස් සමූහය; රටවැසි ප්‍රජාව.

ජනන විද්‍යාව

නා. උත්පාදනය හෙවත් ප්‍රජනනය පිළිබඳ විද්‍යාව.

ජනනය

නා. හටගැන්වීම; ඇති කිරීම; ඉපදවීම; උත්පාදනය.

ජනනායක

නා.ප්‍ර. ජන සමූහයක මූලිකයා; රටක ජනතාවගේ ප්‍රධානයා.

ජනනැටුම්

(පාරිභා.) නා.ප්‍ර. පොදු ජනයා අතර පවත්නා සාම්ප්‍රදායික නර්තන විශේෂ; ගැමි නැටුම්.

ජනනී

නා.ප්‍ර. මව; මාතාව.

ජනනීතිය

නා. රටක හැම ජන කොටසකට ම අයත් පොදු අණපනත් පෙළ; පොදු නීතිය.

ජනනේන්ද්‍රිය

[ජනන + ඉන්ද්‍රිය]
නා.ප්‍ර. ඉපදවීමේ ඉන්ද්‍රිය, උත්පාදක අවයවය; ප්‍රජන්නේද්‍රිය.

ජනපති

1. නා.ප්‍ර. ජන රජයක ප්‍රධානයා; සමූහාණ්ඩුවක නායකයා; ජනාධිපති.
2. නා.ප්‍ර. රජතුමා.

ජනපථිකාව

නා. පදික වේදිකාව; පයින් ගමන් කිරීම සඳහා වෙන් වුණු වේදිකාව.

ජනපදකරණය

නා. තෝරාගත් කිසියම් භූමි ප්‍රදේශයක ජනයා අලුතින් පදිංචි කරවීම.

ජනපදනිරුක්ති

නා.ප්‍ර. ජනපදවල පවත්නා උපභාෂා ව්‍යවහාරය; රටක ප්‍රදේශයක් තුළ පවත්නා භාෂාව; ප්‍රදේශීය භාෂාව.

ජනපදය

1. නා. එක් රාජ්‍යයක් තුළ පිහිටි එක් එක් ජනාවාස කොට්ඨාස; රටක ජනයා වසන ප්‍රදේශය; ජනාවාසය.
2. නා. අලුතින් ජනයා පදිංචි කරවන ප්‍රදේශය; කොලනිය.

ජනපදරෝග

නා.ප්‍ර. (ජනාවාසයක) පැතිරී යන රෝග; බෝවන ලෙඩ; වසංගත රෝග.

ජනප්‍රවාදය

නා. පොදු ජනයා අතර කටින් කට පැවත එන කථාව; මුඛ පරම්පරාගත ප්‍රවෘත්තිය.