සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 677

ජීව ජනනය

(පාරිභා.) නා. ජිවයක් සජීවී ජීවයකින් ම ඉපදීම (=biogenesis).

ජීව දානය

නා. කෙනෙකුගේ මරණාසන්නයේ දී ඒ අරභයා දෙනු ලබන දානය.

ජීව පදාර්ථය

නා. ශරීරයේ වැඩීම හා ක්‍රියාකාරීත්වය සඳහා අවශ්‍ය ආහාර ද්‍රව්‍යවල අඩංගු කාබනික ද්‍රව්‍ය කාණ්ඩය; විටමිනය.

ජීව පරිණාමය

නා. ජීවීන් ක්‍රමයෙන් වෙනස් වෙමින් අන්‍යාකාරයකට පත්වීම; ජීවීන්ගේ ක්‍රම විකාශය.

ජීව භාෂාව

නා. ව්‍යවහාරයෙහි පවතින භාෂාව; නොමළ බස.

ජීව සංඛ්‍යා

(පාරිභා.) නා.ප්‍ර. (ජනතාවගේ) උපත්, විවාහ, මරණ පිළිබඳ ගණන් විස්තර.

ජීවංජීවක

1. නා.ප්‍ර. දීර්ඝායුෂ ඇත්තා; දීර්ඝජීවියා.
2. නා.ප්‍ර. වලි කුකුළා.
3. නා.ප්‍ර. ඇටි කුකුළා.

ජීවග්‍රාහය

නා. පණ පිටින් අල්ලා ගැනීම; නොමරා අත් අඩංගුවට ගැනීම.

ජීවත් වෙනවා

ක්‍රි. දිවි ගෙවනවා; වාසය කරනවා; කල් යවනවා.

ජීවදත්ත

නා.ප්‍ර. යමකුගේ ජීවිතය පිළිබඳ සංක්ෂිප්ත විස්තරය.

ජීවදන්ත

නා.ප්‍ර. නොමළ ඇතුන්ගෙන් ලබාගත් දළය.

ජීවදූවිලි

නා.ප්‍ර. වායු ගෝලයේ පාවෙමින් පවතින බැක්ටීරියා හා පුස් බීජාණු අඩංගු දූලි අංශු.

ජීවධාතු

නා.ප්‍ර. ශක්තිය වඩන පදාර්ථ; මාංස ජනක ධාතු.

ජීවන

වි. ජීවත්වීම පිළිබඳ; ජීවිතය හා බැඳුණු; පැවැත්ම පිළිබඳ.

ජීවන අංකය

නා. (නව.) ජීවත් වීමේ පිරිවැය පිළිබඳ ගණන.

ජීවන චක්‍රය

නා. ජීව ප්‍රාණියකු ප්‍රතිසන්ධියේ හෝ බීජයේ සිට තම වර්ගයා උත්පාදනය කිරීමේ ශක්‍යතාව ලැබෙන තුරු ගෙවන ක්‍රමානුකූල වර්ධනාවස්ථාවලිය.

ජීවන චරිතය

නා. පුද්ගලයකුගේ ජීවිත කථාව; චරිත කථාව; අපදානය.

ජීවන තත්ත්වය

නා. රටක ජනයා ජීවත්වන මට්ටම.

ජීවන දර්ශනය

නා. ජීවිතය පිළිබඳ දැක්ම; ජීවන දෘෂ්ටිය.

ජීවන යාත්‍රාව

නා. දිවි පවත්වාගෙන යෑම; ජීවිතය ගෙන යෑම.

ජීවන රේඛාව

නා. ආයුෂ පිළිබඳ අනාවැකි ප්‍රකාශ කිරීමට පිහිට වන (අල්ලේ) රේඛාව.

ජීවන වායුව

නා. (ලේවල ඇති) ජීවය ලබා දෙන වාතය; අම්ලකර.

ජීවන වැටුප

නා. ජීවත් වීම සඳහා දෙනු ලබන වේතනය.

ජීවන වියදම

නා. සාමාන්‍යයෙන් පුද්ගලයන් එදිනෙදා ජීවත්වීම සඳහා වැය කරන මුදල.