සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 676

ජිම්නාස්ටික්

නා.ප්‍ර. ශරීර ශක්තිය සහ කඩිසර භාවය සඳහා ප්‍රබල ව්‍යායාම ක්‍රම.

ජිම්නේසියම්

නා.ප්‍ර. විශේෂ ශාරීරික ව්‍යායාම සිදු කරන ශාලාව; ක්‍රීඩාගාරය.

ජිය

නා.ප්‍ර. දුන්නෙහි ලනුව; දුනුදිය.

ජිර්ණ පද්ධතිය

නා. ආහාර දිරවීම සම්බන්ධ අවයව සමූහය.

ජිරාෆ්

නා.ප්‍ර. දිග බෙල්ලක් හා දිග පාද ඇති අප්‍රිකානු සිව්පාවෙක්.

ජිල්

නා.ප්‍ර. ද්‍රව මනින මිම්මක්; පයින්ට් කාලක ප්‍රමාණය.

ජිල්ලිකාභය

(පාරිභා.) නා. ඇසෙහි දෘෂ්ටි විතානයත් ශුක්ලාවත් අතර පිහිටි සියුම් ස්තරය (=choroid).

ජිව්හා මූලීය

වි. දිවෙහි මුල සම්බන්ධ වූ; දිව මුලෙහි උපදින.
නා.ප්‍ර. දිවමුල ස්ථානයත් කරණයත් මූලික කොටගෙන උපදින ශබ්දය.

ජිව්හායතනය

[ජිව්හා + ආයතනය]
නා. (අභි.) රසාලම්බනයෙහි ගැටීමෙන් ජිව්හා සම්ඵස්සය ලබන ස්ථානය; ජිව්හා ප්‍රසාදය; දිව.

ජිව්හාව

නා. (අභි.) ආහාර ආදියෙහි රස විඳීමේ කාර්ය ඉටු කරන අවයවය; දිව.

ජිහ්ම

1. වි. වංක; කපටි.
2. (ජ්‍යාමිති.) වි. තිරස් හෝ සමාන්තර හෝ නොවන; හරස්.

ජිහ්වලය

නා. තෘණ වර්ගවල කොළයේ මුල දක්නා පියල්ලක් වැනි පත්‍ර කැබැල්ල.

ජිහ්වා ධමනිය

(පාරිභා.) නා. දිව කරා ලේ ගෙන යන නාඩිය (=lingual artery).

ජිහ්විකාව

නා. දිව හෝ එවැනි කුඩා අවයවය.

ජීන

වි. වයස්ගත; මහලු.

ජීන්

නා.ප්‍ර. (ජීව.) මවුපිය ආර; ප්‍රවේණිය ගෙන යන වර්ණදේහ අංශු; ආරය ගෙන යන ජානය; ප්‍රවේණි අණුව.

ජීමූත

1. නා.ප්‍ර. වැහිකළුව; වලාකුළ; මේඝය.
2. නා.ප්‍ර. කන්ද.

ජීරක

වි. දිරවීම සිදු කරන; දිරවන.

ජීරණ ග්‍රන්ථිය

නා. (ජීව.) ආහාර දිරවීමට උපකාර වන ශ්‍රාවය නිකුත් කරන සෛලය හෝ සෛල සමූහය.

ජීරණ පථය

(පාරිභා.) නා. ආහාර දිරවීම සඳහා ගමන් ගන්නා මාර්ගය; ආහාර මාර්ගය.

ජීරණ යුෂය

(පාරිභා.) නා. ආහාර දිරවීමට උපකාර වන යුෂය (=digestive juice).

ජීරණය‚ ජීර්ණය

1. නා. දිරා යෑම; ජරාවට පත් වීම; ජරාව.
2. (පාරිභා.) නා. කාලගුණික ආදි විපර්යාස නිසා ඛනිජ හා පාෂාණ කැඩී බිඳී යාම.
3. නා. ආහාර දිරවීම.

ජීර්ණක

නා. පුරාණ ශාක කොටස් ජලාශ්‍රිත ව දිරාපත් වීමෙන් සෑදී ඉන්ධන වශයෙන් ප්‍රයෝජනයට ගත හැකි ව පවතින ද්‍රව්‍යය.

ජීව ක්‍රියාව

නා. (ජීව.) සජීව වස්තුවක් තුළ සිදු වන (ශ්වසනය, වර්ධනය, පෝෂණය ආදි) ජීවය පිළිබඳ කාර්ය සමූහය.