සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 689

ටීමේකර

(කථා.) නා.ප්‍ර. (බිමට ගන්නා) තේ කොළ සකස් කරන්නා; තේ කම්හලක තේ කොළ නිෂ්පාදනය භාර තැනැත්තා (=tea maker).

ටීරූල

(පාරිභා.) නා. තිරස් රේඛා ඇඳීම සඳහා භාවිත කරන ඉංගිරිසි 'T’ අකුරේ හැඩයට සෑදූ රූලක් (=t-square).

ටුනිකාටා

(පාරිභා.) නා.ප්‍ර. ප්‍රාථමික සමුද්‍ර ජීවීන් ඇතුළත් පෘෂ්ඨ වංශික සත්ත්ව ගණයක් (=tunicata).

ටුපා

(පාරිභා.) නා.ප්‍ර. උල්පත් ජලය ආශ්‍රිත ව නොහොත් යමහල්වලින් (ගිනි කඳුවලින්) නිකුත්වන අළු හා ද්‍රව්‍ය පොළොවේ තැන්පත් ව ඝන වී සෑසෙන සිදුරු සහිත පාෂාණ (=tuff).

ටුවයින්

නා.ප්‍ර. සවිය ඇති නූල් විශේෂයක්; තෙල්ගාර.

ටුවිට්

නා.ප්‍ර. වටිනා ලොම් රෙදි වෙසෙසක්.

ටෙග්මනය

1. (පාරිභා.) (උද්භි.) නා. ඇතුළු බීජාවරණය.
2. (සත්ව.) නා. කෘමීන්ගේ ඝන පියාපත (=tegmen).

ටෙටනස්

(පාරිභා.) නා.ප්‍ර. පේශිවල හැකිලීම් හා ගැස්ම ඇති කරන භයානක රෝගයක්; පිටගැස්ම (=tetanus).

ටෙට්රපෝඩාවා

(පාරිභා.) නා. ගාත්‍ර හතරක් හෝ සඟල දෙකක් හෝ ඇති පෘෂ්ඨ වංශියා; සිවුපාවා (=tetrapoda).

ටෙරමයිසින්

(පාරිභා.) නා.ප්‍ර. පසෙහි හටගන්නා ස්ට්‍රෙප්ටොමයිසින් රිමොසුස් නම් පුස් වර්ගයකින් ලබා ගන්නා ප්‍රතිජීවක කාරකයක් (=terramycin).

ටෙරාකොටා

නා.ප්‍ර. ඔප නොදමා සියුම් ලෙස තනන මැටි භාණ්ඩ සහ ඇතුරුම් ගල් විශේෂයක්.

ටෙලස්කෝප් කණ්ණාඩිය

නා. දුර බලන කණ්ණාඩිය; දුර දක්නය; දූර දර්ශකය.

ටෙලි ප්‍රින්ටරය

නා. ඈත සිට ටයිප් කළ හැකි ටයිප්රයිටරයක්; දුර මුද්‍රකය; ටෙලි ග්‍රාපීක ටයිප්රයිටරය (=tele printer).

ටෙලෙක්ස්

(පාරිභා.) නා.ප්‍ර. ටෙලිප්‍රින්ටර් පණිවුඩ හුවමාරු ක්‍රමයක් (=telex).

ටෙස්ට්‍යුබය

(පාරිභා.) නා. විද්‍යාගාර පරීක්ෂණ සඳහා බහුල ව භාවිත කළ හැකි පරිදි එක පැත්තක් වසන ලද ඍජු වීදුරු නළය; පරීක්ෂණ නළය (=test tube).

ටෙස්ලා දඟරය

(පාරිභා.) නා. අධිසංඛ්‍යාත ප්‍රත්‍යාවර්තක ධාරා ලබා ගැනීම පිණිස ඇති ප්‍රේරණ දඟර විශේෂයක් (=tesla coil).

ටොක්සින්

නා.ප්‍ර. (වෛද්‍ය.) යම් රෝගයක් හටගන්වන විෂ සහිත ද්‍රව්‍යය (=toxin).

ටොන්

නා.ප්‍ර. හොණ්ඩර 20 කින් හෙවත් රාත්තල් 2240 කින් යුත් බර මිම්මක් (=ton).

ටොන්සිල්

(පාරිභා.) නා.ප්‍ර. ගලමූල ග්‍රන්ථිය; සෙම් ගෙඩිය (=tonsil).

ටොන්සිල් දාහය

(පාරිභා.) නා. ගලමූල ග්‍රන්ථිය ඉදිමීමේ රෝගය; සෙම් ගෙඩි රෝගය; සෙම්ගෙඩි ප්‍රදාහය (=tonsillitis).

ටොනික්

නා.ප්‍ර. ශාරීරික හා මානසික ප්‍රබෝධය ඇති කරන (ඖෂධීය) සිසිල් බීම (=tonic).

ටොඹු

නා.ප්‍ර. පැළෑටියක් හෝ සතකු හෝ පෝෂණ සාරය නිසා ඈරීමේ දී හෙවත් මහත් වීමේ දී දමන අලුත් මස.

ටොරිෂෙලි රික්තය

(පාරිභා.) නා. බැරෝ මීටරයේ ඇති වීදුරු නළයේ පීඩනය දක්වන රසදිය ප්‍රමාණයට ඉහළින් ඇති වායු රහිත කොටස (=torricellian vacuum).

ටෝනාඩෝ

නා.ප්‍ර. පුනීල හැඩයෙන් යුත් කැරැකෙන පටුවායු කදම්බයක් සහිත ප්‍රබල සුළි සුළං විශේෂයක් (=tornado).