සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 703

තත්ත්වාර්ථය

1. නා. සත්‍ය වූ අර්ථය; සත්‍ය ධර්මය.
2. නා. සැබෑ අර්ථය; නියම තේරුම.

තත්ත්වාර්ථාවගමය

[තත්ත්ව + අර්ථ + අවගමය]
නා. (යමක) යථා තත්ත්වය තේරුම් ගැනීම; යථා ස්වභාවය වටහා ගැනීම; යථාර්ථය අවබෝධ කර ගැනීම.

තත්ත්වාරෝපණ ක්‍රමය

(පාරිභා.) නා. අමුතු තත්ත්වයක් ඇති කිරීමෙන් ශිෂ්‍ය ලැදිකම ක්‍රියාත්මක කරවීමට මඟ සලස්වන අධ්‍යාපනික විධිය සහ ක්‍රියාමාර්ගය (=conditioning method).

තත්ත්වාරෝපණය

නා. කිසියම් තත්ත්වයක් පැවරීම හෝ තත්ත්වයකට නැංවීම; ස්වභාවික ව සිදුවන ක්‍රියාකාරිත්වයක් අන්‍ය මාර්ගයකින් ඇතිවීම.

තත්ත්වාරෝපිත

වි. ස්වභාවික ව සිදුවන ක්‍රියාකාරිත්වයක් අන්‍ය මාර්ගයකින් ඇති කළ ආරෝපණය කළ තත්ත්වය ඇති.

තත්ත්වාවබෝධය

[තත්ත්ව + අවබෝධය]
නා. (ධර්මයන්ගේ) නියම ස්වභාව වටහා ගැන්ම; ඇති සැටි තේරුම් ගැනීම; පදාර්ථවල යථා ස්වභාවය පිළිබඳ දැනුම.

තත්ත්වෝන්මාද

[තත්ත්ව + උන්මාද]
නා.ප්‍ර. තමා දෙවියෙකැයි විශ්වාස කරන පිස්සුව.

තත්තුල්‍ය

වි. ඒ හා සමාන; ඊට සමාන වූ.

තත්පර

1. වි. එහි ඇලුණු; එහි යෙදුණු; නිරත වූ; ආසක්න වූ.
2. වි. ඊට පසු වූ.
3. වි. ස්ථිර වසයෙන්; තරයේ.

තත්පර කටුව

නා. ඔරලෝසුවක තත්පර සංඛ්‍යාව දක්වන කටුව; තත්පරයක කාලය දක්වන කටුව.

තත්පරය

1. නා. විනාඩියෙන් හැටෙන් පංගුවක් වන කාල ප්‍රමාණය.
2. (කථා.) නා. ඇසිපිය වරක් හෙළීමට යන කාලය.

තත්පරායණ

වි. එහි ඇලුණු; එයට ඇප කැප වූ; එය ම පිහිට කොටගත්.

තත්පරිහාර

නා.ප්‍ර. එය වැළකීම; එය බැහැර කිරීම.

තත්ප්‍රභව

වි. එයින් උපන්; එයින් හටගත්.

තත්පාදක

වි. එය පදනම් කොට ඇති; එයට මුල් වූ.

තත්භාවය

නා. ප්‍රකෘති ස්වභාවය; මූලත්වය.

තත්වෙළුම

නා. වීණාවේ තත් එතීමට සවි කළ ඇණය; තන්ත්‍රි වේඨනය.

තත්සම

නා.ප්‍ර. (ව්‍යාක.) සිංහල භාෂාවේ ප්‍රකෘති විශේෂයක්; තසම; වෙනත් භාෂාවක වචනවල ප්‍රකෘතින් හා සමාන වන ප්‍රකෘතීන් හා යෙදේ.

තත්සමය

නා.ප්‍ර. එකල; ඒ වේලාව; ඒ මොහොත.

තත්සමුත්ථාන

නා.ප්‍ර. එය ඇති වීමට මුල් වූ කරුණ; එය ඉපැදීම; එහි ප්‍රභවය.

තත්සමුදය

නා.ප්‍ර. එහි හටගැන්ම; එහි උපත; එය හට ගැන්මට හේතුවන මූලකාරණය.

තත්සර

1. නා.ප්‍ර. වීණා ආදියෙහි මැදීමෙන් නඟින හඬ; වීණා නද; තන්ත්‍රී ස්වරය.
2. නා.ප්‍ර. බෙර වර්ගයක්.

තත්සහචරිත

වි. ඒ අනු ව ගිය; ඒ පිළිබඳ වූ; එය හා පැවති.

තත්‍ර

නි. එහි; එතැන.