සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 702

තණ්හක්ඛය

නා.ප්‍ර. තණ්හාව නැති කිරීමෙන් ලබන ඵලය; කාම වස්තු කෙරෙහි ඇති ඇල්ම නැති කිරීම.

තණ්හය

1. නා. ලෝභය; ආශාව; අධික රුචිය.
2. නා. රූප, ශබ්ද ආදි කාම වස්තු කෙරෙහි බැඳි ආශාව.

තණ්හාධික

වි. අධික තෘෂ්ණාවෙන් යුක්ත; බලවත් තෘෂ්ණාවක් ඇති.

තත

1. නා. පියා; තාත්තා.
2. නා. උත්සාහය; තැත.
3. (සංගී.) නා. වීණා ආදි තූර්ය භාණ්ඩයෙක විවිධ නාද දැනවීම සඳහා සවි කරනු ලබන නූල වැනි උපකරණය; තන්ත්‍රිය.
4. නා. නූල; හුය; කෙන්ද.

තත ගසනවා

ක්‍රි. වීණා ආදියෙන් තත හඬවනවා; තන්ත්‍රීය නාද කරවනවා.

තතනනවා

1. ක්‍රි. යම්කිසි කාර්යයන් සඳහා බලවත් උත්සාහයක් ගන්නවා; මහත් සේ වෑයම් කරනවා; තැත් කරනවා.
2. ක්‍රි. බලවත් වේදනාවෙන් කෙඳිරි ගානවා; වේදනා මුසු සිහින් හඬ නගනවා.
3. ක්‍රි. මේඝ ගර්ජනා කරනවා; ගුගුරනවා.
4. ක්‍රි. බියෙන් හෝ කෝපයෙන් වෙව්ලනවා.
5. ක්‍රි. තැති ගන්නවා; ගැහෙනවා.

තත්

වි. රත් වූ; ගින්නෙන් තැවුණු.
නා.ප්‍ර. උෂ්ණය
(සර්ව.) ඒ ; එය.

තත් කවනවා

1. ක්‍රි. විදීම සඳහා දුන්න සූදානම් කරනවා; ඊයෙහි පසු කඩ දුනු දියට මනා ව ගන්වනවා; ඊය දුනු දියෙහි තබා ඇද සකස් කරනවා.
2. ක්‍රි. සංගීත කාණ්ඩයට නූල් හෝ කම්බි දමනවා.

තත් තත්

වි. ඒ ඒ; ඒ මේ; විවිධ.

තත්-පර්යාය

වි. රූපයෙන් වෙනස් වූ එහෙත් අර්ථයෙන් සමාන; අර්ථයෙන් එය හා සමාන වන; සමානාර්ථ ඇති.

තත්ඉරම

(කථා.) නා. මැණික් පතල් දෙකක් අතර ඉතිරි ව ඇති බිම් කොටස.

තත්කබල

නා. රත් වූ බඳුන; ගින්නෙන් තැවුණු වළඳ.

තත්කාල

1. වි. එම කාලයෙහි වූ; පැවති කාලයට අයත්.
2. (ජ්‍යෝති.) වි. යමක් සිද්ධ වූ වේලාවට හෝ යමකු උන් වේලාවට හෝ අයත්; ඉෂ්ට කාලයෙහි වූ.

තත්කාල කේන්ද්‍රය

1. නා. (ජ්‍යෝති.) ඉෂ්ට කාලයකට අනු ව සාදන කේන්ද්‍ර සටහන; අපේක්ෂිත වේලාවේ ග්‍රහයන්ගේ පිහිටීම දැක්වෙන භාව චක්‍රය.
2. ගණිතැදුරා හමු වන කාලයෙහි ග්‍රහයාගේ පිහිටීම දැක්වෙන කේන්ද්‍රය.

තත්කාල ශාස්ත්‍රය

නා. (ජ්‍යෝති.) තත්කාලයෙහි ග්‍රහයන් පිහිටි භාව අනුව තත්කාලීන ඵලාඵල ජ්‍යෝතිශ්ශාස්ත්‍රානුසාරයෙන් දැන කීමේ ක්‍රමය.

තත්කාලීන

වි. ඒ කාල පිළිබඳ; නිර්දිෂ්ට කාලයට අයත්.

තත්තය

1. නා. පිපාසය; පවස.
2. නා. තැවීම; තැවුණු බව.

තත්ත්ව දර්ශනය

නා. ඇති තතු දැනීම; යථා ස්වභාවය අවබෝධ කර ගැන්ම; සත්‍ය ස්වරූපය දැකීම.

තත්ත්වඥ

වි. ඇතිසැටි දැනගත්; යථා ස්වභාවය වටහා ගත්; තතු දත්; තත්ත්වවේදි.

තත්ත්වනිර්ණය

නා.ප්‍ර. සැබෑ තත්ත්වය නිශ්චය කිරීම; සත්‍ය ස්වභාවය නිගමනය කිරීම; ඇති තතු තීරණය කිරීම.

තත්ත්වය

1. නා. ඇති සැටි; සැබෑ ආකාරය; නියම ස්වභාවය; තතුව.
2. නා. තරාතිරම; සමාජයේ හිමි තැන.

තත්ත්වාකාරය

1. නා. ඇති සැටිය; නියම ස්වභාවය.
2. නා. තරාතිරම; සමාජයේ හිමි තැන.

තත්ත්වාඛ්‍යාන

[තත්ත්ව + ආඛ්‍යාන]
වි. යමක ඇති තතු ප්‍රකාශ කිරීම පිළිබඳ; තත්ත්ව ප්‍රකාශනය හා සම්බන්ධ.

තත්ත්වාන්වේෂණ

[තත්ත්ව + අන්වේෂණ]
නා.ප්‍ර. (භා.දර්ශන.) ජීවඅජීව පදාර්ථවල යථා ස්වභාවය සෙවීම; සත්‍ය ගවේෂණය.