සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 737

තාප සන්නායකය

(පාරිභා.) නා. සන්නයනය මගින් තාපය ගලා යෑමට සලසන වස්තුව; තාපය ගෙන යන වස්තුව (=conductor of heat).

තාප සමකය

(පාරිභා.) නා. යම් කාල පරිච්ඡේදයක් තුළ දී ලොවෙහි පැවතෙන උපරිම මධ්‍යන්‍ය උෂ්ණත්වය පවතින තැන් සම්බන්ධ කරන හිතලු රේඛාව (=heat equator).

තාප සම්ප්‍රේෂණය

(පාරිභා.) නා. එක් තැනක සිට තවත් තැනකට හෝ එක් දෙයක සිට තවත් දෙයකට තාපය ගමන් කරවීම (=heat transmission).

තාප සුවිකාර්ය

(පාරිභා.) වි. රත් කිරීමේ දී මොළොක් වන හෝ හැඩහුරු කළ හැකි හෝ සුවිකාර්ය වන (=thermoplastic).

තාපක දඟරය

(පාරිභා.) නා. තාපය (ගමන්) කරන වෙළුම හෙවත් දරණුව.

තාපකය

(පාරිභා.) නා. ශීත කාලයේ දී ගෙවල් ආදිය උණුසුම් කිරීම සඳහා භාවිත වන විදුලි හෝ ගෑස් උපකරණය; ජලය ආදිය උණුසුම් කර ගැනීමට උපයෝගී කරගන්නා උපකරණය (=heater).

තාපකාරක

(පාරිභා.) වි. තාපය ඇති කරන; තාප උත්පාදක; තාපජනක.

තාපකාර්යක්ෂමතාව

(පාරිභා.) නා. යන්ත්‍රයකට සැපයෙන ඉන්ධනයෙන් හෝ වාෂ්පයෙන් ජනිත වන තාප ප්‍රමාණයත්, ඒ මගින් ඇති වන ක්‍රියාකාරිත්වයත් අතර දක්නට ලැබෙන අනුපාතය (=heat efficiency).

තාපචූෂී

(පාරිභා.) වි. තාපය උරා ගන්නා වූ හෝ ඇද ගන්නා වූ; තාපය අවශෝෂණය කරන.

තාපජනක

(පාරිභා.) වි. තාපය උපදවන; උෂ්ණත්වය ඇති කරන (=calorific).

තාපජල ප්‍රස්තාරය

(පාරිභා.) නා. උෂ්ණත්වය සමග ජලයෙ ඝනත්වයේ විචලනය හෙවත් වෙනස් වීම පෙන්වන ප්‍රස්තාරය හෙවත් සටහන.

තාපතරඞ්ග

(පාරිභා.) නා.ප්‍ර. එක් ප්‍රදේශයකින් තවත් ප්‍රදේශයකට හමා එන රත් වූ වායු ධාරා හෙවත් රැලි.

තාපතීව්‍රතාව

(පාරිභා.) නා. උෂ්ණත්වයේ හෙවත් තාපයේ ප්‍රබලතාව හෙවත් දැඩිබව.

තාපතුලාව

(පාරිභා.) නා. පොළොව හා වායුගෝලය සූර්යයාගෙන් ලබන විකිරණයත් පෙරළා වායු ගෝලය හා පොළොව විසින් නිකුත් කරනු ලබන විකිරණයත් අතර පවත්නා සාමාන්‍යය පිළිබඳ සමතුලිතතාව (=heat balance).

තාපදීප්තිය

(පාරිභා.) නා. දැඩි උෂ්ණත්වය හේතු කොට ගෙන ද්‍රව්‍යයකින් ආලෝකය විමෝචනය වීම.

තාපධාරිතාව

(පාරිභා.) නා. වස්තුවක විශිෂ්ට තාපයේත් ස්කන්ධයේත් ගුණිතය; යම් වස්තුවක උෂ්ණත්වය කිසියම් ප්‍රමාණයක් වැඩි කිරීම සඳහා අවශ්‍ය වන තාප ප්‍රමාණය (=heat capacity).

තාපනය

1. නා. අධික උෂ්ණයෙන් රත් කිරීම; ගිනියම් කිරීම.
2. නා. ශෝකය; කනගාටුව; සිත් තැවුල; චිත්ත පීඩාව.
3. නා. කෙලෙසුන් මැඩ පැවැත්වීම/මර්දනය කිරීම.

තාපමානය

1. (පාරිභා.) නා. තාපය මැනීමේ උපකරණය; කැලරිමීටරය.
2. (පාරිභා.) නා. ශරීරයේ උෂ්ණත්වය මැණීමේ උපකරණය; උණකටුව.

තාපමිතිය

(පාරිභා.) නා. විශිෂ්ට තාපය ගුප්ත තාපය තාප අගය ආදි තාප නියත මැනීම (=calorimetry).

තාපය

1. නා. රස්නය; උණුසුම ඇති කිරීමේ ශක්තිය; උෂ්ණත්වය; ග්‍රීෂ්මය.
2. (පාරිභා.) නා. වස්තුවකට ඇතුළු කළ විට එහි උෂ්ණත්වය වැඩි කරන්නා වූ ද, ඉන් ඉවත් කළ විට එහි උෂ්ණත්වය අඩු කරන්නා වූ ද ශක්තිය.
3. නා. සිතේ ඇතිවන වේදනාව; තැවුල; පීඩාව; සන්තාපය.
4. නා. (කෙලෙසුන්) තැවීම; මැඩීම; මර්දනය.
5. නා. නිරයක නමක්; තාපනරකය.

තාපරක්ත

(පාරිභා.) වි. රක්ත වර්ණ වනතුරු රත් වූ; ගිනියම් වූ.

තාපවිකාසී

වි. රස්නය නිකුත් කරන; තාපය මෝචනය කරන; තාපය මුදාලන; තාපදායක.

තාපසන්නමනය

නා. තාපය නිසා ශාකයක කොටස්වල ඇති වන චලනය හෝ නැමීම.

තාපසයා

නා. කෙලෙසුන් තවන්නා; තපස් රකින්නා; තවුසා; යෝගියා.