සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 761

තුනටිය

නා. කොඳු ඇට පෙළ හා උකුළු ඇටය එක් වුණු සන්ධි ස්ථානය.

තුනත්ත

නා. කුඹුරක නියරවල් තුනක් එක් වන බිම් කණ්ඩිය; තුන් නියරක් එක් වූ මුල්ල.

තුනපහ

නා.ප්‍ර. ව්‍යඤ්ජන රසවත් කිරීම ආදිය පිණිස යොදන කුළුබඩු මිශ්‍රණය.

තුනවි

නා.ප්‍ර. ඇඳුම් මහන්නා; සන්නාලියා; තුනහයා.

තුන් අඩිය

(කථා.) නා. නැටුම් පුහුණුවෙහි තුන්වන හරඹය හෙවත් උඩරට නැටුමෙහි ගොඩ හරඹ දොළහ සහ පා හරඹ දොළහ.

තුන් ඉරියව්ව

නා. ඉඳීම, සිටීම, සක්මන් කිරීම යන ඉරියවු තුන.

තුන් ඍතුව

නා. හේමන්ත, ගිම්හාන, වස්සාන යන ඍතු තුන.

තුන් කුළුඳුල්

(කථා ) වි. කුලුඳුල් මව්පිය දෙදෙනකුට ද, ඔවුන්ට ලැබෙන කුලුඳුල් දරුවා ද යන කුලුඳුල් තුනක් එක් වූ; තුන්වැනි වරට කුලුඳුල් වූ.

තුන් තිරවුව

නා. ඇසීමෙන්, දැකීමෙන් හා කිරීමෙන් දැන යමක් නිශ්චය කිරීම.

තුන් තේරවිල්ල

1. නා. (කථා.) වචන දෙකක අර්ථය වෙන වෙන ගෙන එය ආපසු පද පෙරළි බසින් පැවසූ විට ලැබෙන අර්ථය; තුන් පියවරකින් විසඳිය යුතු ප්‍රහේළිකාව.
2. නා. සැඟවුණු අර්ථය ඇති ප්‍රකාශය; යමක් වක්‍රව කීම.

තුන් දණ්ඩය

නා. කාය දණ්ඩ, වාග් දණ්ඩ, මනෝ දණ්ඩ යනුවෙන් ජෛනාගමෙහි දැක්වෙන කර්ම තුන.

තුන් පිටකය

නා. ප්‍රථම ධර්ම සංගායනාවේ දී බුද්ධ ධර්මය බෙදන ලද විනය, සූත්‍ර, අභිධර්ම යන පිටක තුන.

තුන් භවය

නා. සත්වයන් උපදනා කාම, රූප, අරූප යන භව තුන.

තුන් මඬුල්ල

නා. දෙදණ හා නාභිය යන මණ්ඩල තුන.

තුන් වට්ටම

(කථා.) නා. තුන්වාරය; තුන්විට.

තුන් සිංහලය

නා. පුරාණ ලංකාවේ වූ රුහුණු, මායා, පිහිටි යන රටවල් තුන.

තුන් සුසිරි

නා.ප්‍ර. කාය, වාක්, මනඃ යන ත්‍රිවිධ සුචරිතය.

තුන්ඉරි කාරයා

නා. ලේනා.

තුන්කත

නා. භාර්යාවන් තිදෙනකු ඇති තැනැත්තා; ශිව දෙවියා.

තුන්කම

නා. කාය, වාග්, මනෝ යන කර්ම තුන.

තුන්කල

1. නා. අතීත, වර්තමාන, අනාගත යන කාල තුන.
2. නා. හේමන්ත, ගිම්හාන, වස්සාන යන ඍතු තුන.
3. නා. වයස, දිනය, රාත්‍රිය ආදියෙහි මුල මැද අග යන අවස්ථා තුන.
4. නා. දන් දීමේ දී පූර්ව, මුඤ්චන, අපර යන චේතනාවල අවස්ථා තුන.

තුන්කැලැති

නා.බහු. ස්ත්‍රීන්ගේ නාභිය ආසන්න උදර ප්‍රදේශයෙහි පිහිටන රැළි තුන; තෙවලිය.

තුන්කුදය

නා. දෙදණ, උකුළ, බෙල්ල යන තුන් තැනෙහි නැමීම.

තුන්කුළු

නා.ප්‍ර. මහමෙර දරා සිටිතැයි සැලකෙන පර්වත තුන.