සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 793

දන් වතුර

නා. දාන ප්‍රවාහය; ගලා යන මහවතුරක් මෙන් සීමා නැති ව වස්තු පරිත්‍යාග කිරීම.

දන්කෙළි

නා.ප්‍ර. නිරතුරුව දන්දීම.

දන්ගෙඩිය

1. නා. හිස ගසා දමනු සඳහා යොදාගත් දඬුකඩ; දම්ගෙඩිය.
2. නා. දහම්බෙරය; භික්ෂූන්වහන්සේට වේලාව දැන්වීම සඳහා දණ්ඩක් හෝ ඝණ්ඨාරයක් මගින් කරනු ලබන නාදය.

දන්ගෙය

නා. දානශාලාව, දන් පිළියෙල කරන තැන.

දන්ත

නා. දත.
වි. දැමුණු; හික්මුණු.

දන්ත කල්‍යාණය

නා. විශේෂයෙන් කාන්තාවන්ගේ දත් පිළිබඳ යහපත් බව; සිදුරු නැති ව විදුරු පෙළක් මෙන් දත් තිබීමේ ලක්ෂණය.

දන්ත ධාතුව

නා. බුදුරජුන්ගේ දාඨා ධාතුව; දළදාව; දංෂ්ට්‍රා ධාතුව.

දන්ත න්‍යාසය

(පාරිභා.) නා. දත් පෙළ; දන්ත පංක්තිය.

දන්ත මඩිය

(පාරිභා.) නා. වැඩෙන දතක් (මෝදු වීමට පෙර) වසා සිටින පටකය.

දන්ත මස්තකය

(පාරිභා.) නා. විදුරුමසින් නොවැසුණු දත් කොටස.

දන්ත මාංසය

නා. කටේ දත් දරා සිටින තද මස; විදුරුමස.

දන්ත මොළ

නා.ප්‍ර. දතක කුහරයෙහි ඇති රතුපාට මෘදු ද්‍රව්‍යය.

දන්ත වෛද්‍ය

නා.ප්‍ර. දත් වෙදකම්හි යෙදෙන්නා.

දන්ත සූත්‍රය

නා. උඩුහණුවේ හා යටිහණුවේ පිහිටන දත් වර්ග හා ගණන පිළිබඳ සූත්‍ර සටහන.

දන්තකර

නා.ප්‍ර. දත් සෑදී ඇති ප්‍රධාන ද්‍රව්‍යය; දන්තිනය.

දන්තකර්මය

නා. ඇත්දත්වලින් භාණ්ඩ සෑදීම; ඇත්දත් කර්මාන්තය; ඇත්දත් ශිල්පය.

දන්තකාරයා

නා. ඇත්දත්වලින් (කැටයම් ආදි) වැඩකරන ශිල්පියා.

දන්තකාෂ්ඨ

නා.ප්‍ර. දත් පිරිසිදු කර ගැනීමට භාවිත කරන දැහැටි කූර; දැහැට්ට.

දන්තජ

වි. දත්වලින් උපදින; දත උත්පත්ති ස්ථානය කොට ඇති වූ.
නා. දත්වලින් උපදින ‘ත’ වර්ගයේ අක්ෂර ; ඏ, ඏෟ, ල, ස යන අක්ෂර.

දන්තමල

නා.ප්‍ර. දත් මැලියම්.

දන්ත්‍ය

වි. දන්තාශ්‍රිත ව උපදින; දත හා සම්බන්ධ.

දන්තාග්‍රය

නා. දත් අග; දත් කෙළවර.

දන්තාරෝග්‍ය ශාලාව

නා. දත් රෝගවලට ප්‍රතිකාර කරන රෝහල.

දන්තාවරණ

නා.ප්‍ර. දෙතොල; තොල් සඟල.