සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 792

දදමිනා

නා. මින්දද; මීන හෙවත් මත්ස්‍ය රූපයක් කොඩියෙහි ඇත්තා; අනංගයා.

දදර

1. නා.ප්‍ර. මලානික ස්වභාවය; මැලවුණු ගතිය.
2. නා.ප්‍ර. මැඩියා; ගෙම්බා.

දදරද

1. නා.ප්‍ර. තාරකාවල රාජයා; සඳ; චන්ද්‍රයා.
2. නා.ප්‍ර. පක්ෂීන්ගේ රාජයා; ගුරුළා.

දද්දර

නා.ප්‍ර. සංගීත භාණ්ඩ විශේෂයක්; වීණා වර්ගයක්.

දදිමඬ

නා.ප්‍ර. මුදවන ලද කිරෙන් පෑදුණු දිය; දධිමණ්ඩ; මෝරු.

දදුරු

වි. දෙදරි ගිය; කැබලි වී ගිය.
1. නා.ප්‍ර. හදවත.
2. නා.ප්‍ර. මැඩියා.

දධි

නා.ප්‍ර. මුදවාපු කිරි; දීකිරි; දී.

දන

1. නා. සතුටින් දෙන දෙය; දානය; දීම; ත්‍යාගය; පරිත්‍යාගය.
2. නා. බත්.
3. නා. ජනයා; ජනතාව.
4. නා. ධනය; වස්තුව; සම්පත්තිය.
5. නා. ධාන්‍ය බීජ; ආහාර සඳහා ගන්නා වී, තල මුං ආදි ඇට.
6. නා. දැනීම; ජානනය.
7. සිත එක අරමුණක යෙදවීම; ධ්‍යානය.
8. සෙනෙහස.

දනංජය

නා.ප්‍ර. ශරීරයේ පැතිර සිටිනා දශ ආකාර වායුවෙන් එකක්; කටහඬ ඇති කරන්නා වූ වායුව.

දනකැන්

නා.ප්‍ර. ජන සමූහයා.

දනග

[දන + අග]
නා.ප්‍ර. උත්කෘෂ්ට දානය; අග්‍ර දානය.

දනද

1. නා. ධනයට අධිපති දෙවියා වන වෛශ්‍රවණ හෙවත් වෙසමුණි.
2. නා. ධනවතා.

දනන

1. නා. යුද්ධය; සටන; සංග්‍රාමය.
2. නා. ධ්‍යාන නමැති ආහාරය.

දනනවා

1. ක්‍රි. දිනනවා; ජයග්‍රහණය කරනවා.
2. ක්‍රි. උපදිනවා; ජනිත වෙනවා; බිහි වෙනවා.

දනඹුල

1. නා.ප්‍ර. කන්ද.
2. නා.ප්‍ර. විනාකිරි.
3. නා.ප්‍ර. හාල් පානු වතුර.

දනවට

1. නා.ප්‍ර. කඩ නොකොට පිළිවෙළින් දෙන දානය.
2. නා.ප්‍ර. දන් වශයෙන් දෙනු ලබන ආහාර හා අන් ද්‍රව්‍ය.

දනවනවා

ක්‍රි. ඇති කරනවා; උපදවනවා; ජනිත කරනවා.

දනවා

1. ක්‍රි. ගින්නේ විනාශ වෙනවා; පිලිස්සෙනවා; දැවෙනවා; ගිනිබත් වෙනවා.
2. ක්‍රි. දාහය ඇති වෙනවා; දැවිල්ල ඇති වෙනවා.
3. ක්‍රි. ගොයම්, තණ ආදිය කපනවා.

දනවිරිඳු

නා.ප්‍ර. මිනිස් සමූහයා; ජන බෘන්දය.

දනවුකලණ

නා. ජනපද කල්‍යාණිය; රටේ හෝ ප්‍රදේශයේ රූපසුන්දරිය.

දනවුව

නා. ජනපදය.

දන්

1. නා.ප්‍ර. දානය; දීම; දෙන දෙය.
2. නා.ප්‍ර. ඇතුන්ගේ කන්මුල් ආදි තැන්වලින් වෑහෙන මද; ඇත්මද.
3. නා.ප්‍ර. දාමය; දම්වැල.

දන් උදියා

නා. පන්සලක දාන කටයුතු සම්බන්ධයෙන් මෙහෙවර කරන්නා; දන්කැමියා.

දන් කැමියා

නා. දානය පිළිබඳ කටයුතුවල නියුතු තැනැත්තා; දානවස්තු පිළියෙල කරන්නා.