සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 818

දාහුය

නා. දාවල්ලේ නූල්පට; රෙදි කොනක නූල.

දැකුම

නා. නිල පංගුකාරයකු පිළිගන්වන චාරිත්‍රානුකූල ත්‍යාගය; පුද්ගලයකු දකින්නට යන විට ගෙන යන තෑග්ග; පුදපඬුරු.

දැකුම් පත

නා. කැඩපත; දර්පණතලය.

දැකුම්කද

නා.ප්‍ර. මහනුවර යුගයේ රාජකීයන් හෝ නෑ හිතවතුන් හමුවීමට යන විට කදක් වශයෙන් ගෙන ගිය තුටු පඬුරු.

දැකුම්කලු

වි. දැකීමට ප්‍රිය උපදවන; දර්ශනීය.

දැකුම්පඬුරු

නා.ප්‍ර. තෑගි බෝග; තුටු පඬුරු.

දැඟුම්

වි. එක් තැනක නොපවතින; ඇවිදින; ගමන් කරන; ජඞ්ගම.
නා.ප්‍ර. ගමන; ඇවිදීම.

දැට්ට

නා. ගැට්ට; අද්දර; අයින.

දැඩි

1. වි. මෘදු නොවූ; රළු; ගොරෝසු; ඝන; හයිය; ස්තබ්ධ.
2. වි. කරුණාවක් නැති; තද හිතක් ඇති.
3. වි. කුඩා නොවූ; මහත්; විශාල; ලොකු.
4. වි. සුළු නොවූ; බලවත්; බරපතළ; අධික; උග්‍ර.

දැඩි කරනවා

1. ක්‍රි. ලොකු මහත් කරනවා; වර්ධනය කරනවා; ඇති දැඩි කරනවා.
2. ක්‍රි. බරපතළ කරනවා; උග්‍ර කරනවා.
3. ක්‍රි. තිර කරනවා; හිර කරනවා; තද කරනවා.

දැඩිමුණ්ඩ

නා.ප්‍ර. ලාංකික දෙවියකුගේ නාමය.

දැඩිය බානවා

(කථා.) ක්‍රි. (ගොවි.) අවුව වැටෙනවා; හිරු රැස් වදිනවා.

දැඩිවීදුරු

(පාරිභා.) නා.ප්‍ර. රත් කිරීම්, රසායනික ක්‍රියාකාරකම් සඳහා ඔරොත්තු දෙන වීදුරු; කඨින කාච (=hard glass).

දැණ්ඩිකාරයා

(කථා.) නා. කල එළියට අඳින පලඳින තැනැත්තා; උජාරුව පෙන්වන්නා; ආඩම්බරකාරයා.

දැණ්ඩිපට

(කථා.) නා.ප්‍ර. හවඩියෙහි පහතට එල්ලෙන කොටස.

දැත්ත

1. නා. දතක හැඩය ඇති දෙය; තුඩ.
2. නා. ගැටිය; වාටිය: අයින; අද්දර; (කුඹුරේ) වේල්ල; නියර.
3. නා. උකුණුගහ; දැති ගොයියා.

දැති

වි. දෙන ලද; දුන්.

දැති අඳිනවා

ක්‍රි. (ගොවි.) කුඹුර මුල් වරට කොටනවා.

දැති අඹනවා

ක්‍රි. (ගොවි.) ලියද්දේ නියර තද කරනවා.

දැති ගසනවා

ක්‍රි. (කියතේ) දැති පිළිවෙළින් ඒ මේ පැත්තට සුළු ඒ වශයෙන් නමනවා.

දැති ගානවා

ක්‍රි. (ගොවි.) වැපිරීම සඳහා කුඹුරේ ලියදි සමතලා කරනවා.

දැති ගොයිය

නා. (ගොවි.) කමත් උපකරණයක්; කමතේ මැඩුවන් ඇවිස්සීම සඳහා භාවිත කරන අගින් වකක් සහිත දිග ලීය; උකුණු ගහ.

දැති පෝරුව

නා. කුඹුරක් පෝරු ගෑම පිණිස ගැනෙන උපකරණයක්; ඇණ දත් පෝරුව.

දැති බරුව

(කථා.) නා. කුල්ල.