සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 819

දැති බෝය

(කථා.) නා. පොල් ගාන උපකරණය; හිරමනය.

දැති යත්ත

නා. උල් දත්වලින් යුත් යතු විශේෂයක්.

දැති රෝදය

නා. දැති සහිත රෝදය.

දැතිකටුව

(කථා.) නා. රෙදි විවීමේ දී තව් ලොකු කිරීම පිණිස භාවිත කරන උපකරණයක්.

දැතිචක්‍ර

(පාරිභා.) නා.ප්‍ර. (කුඩා) දැති රෝදය; දවරෝදය (=pinion).

දැදුරනවා

1. ක්‍රි. පැළෙනවා; පිපිරෙනවා; කැඩී බිඳී යනවා; දෙදරුම් කනවා.
2. ක්‍රි. ජරාවට පත් වෙනවා; දිරා යනවා.

දැදුරු

1. නා.ප්‍ර. දැදුර.
2. නා.ප්‍ර. සිදුර; බෙනය.
3. නා.ප්‍ර. විහිදීම.
4. නා.ප්‍ර. බෙර විශේෂයක්.
5. නා.ප්‍ර. ජරාව; දිරන ගතිය.
6. නා.ප්‍ර. මැඩියා.

දැදුරුනිම්න

(පාරිභා.) නා.ප්‍ර. කැඩී බිඳී යෑමෙන් ඇති වූ මිටියාවත්; විදාරිත පහත්බිම් (=rift valley).

දැදුරුබෙර

නා.ප්‍ර. බෙර වර්ගයක්.

දැනක

(කථා.) නි. දැන්; මේ; මොහොතෙහි.

දැනමිති

වි. කටයුතු නොකටයුතු වැටහෙන; දැන උගත්කම් ඇති; පළපුරුදුකම් ලද; බහුශ්‍රැත.

දැනමිති රාල

නා. (මහනුවර රාජ සමයෙහි රජයේ කාර්යාංශ පිළිබඳ) කාර්ය සංවිධානයෙහි ප්‍රධානයා.

දැනමිති වෙනවා

1. ක්‍රි. සුදුසු-නුසුදුසු කරුණු වටහා ගන්නවා; පාඩම් ඉගෙන ගන්නවා; අත්දැකීම් ලබනවා.
2. ක්‍රි. වැඩිවියට පැමිණෙනවා; මල්වර වෙනවා.

දැන්වීම

1. නා. දැනුම් දීම; අවබෝධ කරවීම; තේරුම් කිරීම.
2. නා. දැනුම් දීම සඳහා වන ප්‍රකාශය; ප්‍රචාරක පත්‍රය; දැන්වීම් පත; නිවේදනය.

දැන්වීම් නියෝජිත

නා.ප්‍ර. ප්‍රචාරක කාර්යාංශයක් වෙනුවෙන් පෙනී සිටින්නා; ප්‍රචාරක අධිකාරයක පාලකයා.

දැනුම් වාදය

නා. (දර්ශන.) දැනුම් හා දැනීම ලබා ගැනීමේ විධිය පිළිබඳ න්‍යාය; අනුභව වාදය.

දැපනෙ වැටෙනවා

ක්‍රි. වශී වෙනවා.

දැපි

1. නා.ප්‍ර. රති ක්‍රීඩාව; මෙවුන්දම් සේවනය.
2. නා.ප්‍ර. අනඞ්ගයා.

දැපෙනවා

1. ක්‍රි. ආඩම්බර වෙනවා; දර්පිත වෙනවා; අභිමානවත් වෙනවා.
2. ක්‍රි. නිරත වෙනවා; නියුක්ත වෙනවා.

දැබි

වි. එක් ව යෙදුණු; සංයුක්ත; බැඳුණු; ගොතන ලද.

දැමි

1. වි. දමනය වූ; හික්මුණු; දාන්ත.
2. වි. දහමට අනු ව වසන; ගුණ දහමින් යුතු; ධාර්මික.
නා.ප්‍ර. දහම්හි නියුතු තැනැත්තා; දැහැමියා; ධාර්මිකයා.

දැමිටු

වි. ධර්මයෙහි නියුක්ත; ධර්මිෂ්ඨ.

දැමිඳුරු

නා.ප්‍ර. දමනය කරන ලද ඉඳුරන් ඇත්තා වන බුදුරජ.

දැමුවා

නා.ප්‍ර. ඉවත දමන ලද දෙය; වීසි කරන ලද්ද.