සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 817

දාරාත්මජයා

නා. බිරිඳ හා දරු පිරිස; අඹුදරු පිරිස.

දාරිද්‍රය

නා. ධන සම්පතින් තොර බව; දිළිඳුබව; දුප්පත්කම.

දාරිය

නා. භාර්යාව; බිරිය.

දාරු

නා. ලී; දැව; දර.

දාරුකුටිය

නා. දැවයෙන් සැදූ කුඩා ගෙය; ලී කුටිය.

දාරුණ

1. වි. දරුණු; බිහිසුණු; භයානක.
2. වි. හැඩි දැඩි; මහත්.

දාරුමක්කටක

නා.ප්‍ර. ගසක් මැරීම සඳහා ඇණ කටු ආදිය කඳේ ඇනීමේ උපාය ක්‍රමය.

දාරුමය

වි. දැවයෙන් කළ; ලීයෙන් තැනූ; දැවමුවා.

දාරුව

1. නා. (වී විසුරුවීම් වැනි වැඩට ගනු ලබන) ඇඟිලි දෙකක් සහිත දැව උපකරණයක්; උකුණු දැත්ත.
2. (පාරිභා.) නා. ශාක කඳක මදයට හෙවත් බොඩයට පිටතින් ඇති කොටස; ශාක හරයේ පිහිටි සෛල කෙඳි ආදිය මිශ්‍රණයෙන් සෑදුණු ජලය ගෙන යන ඌති සහිත කොටස; අරටුව (= xylem).
3. නා. යාරයක පමණ බිම් ප්‍රමාණයක්.

දාරූ

නා.ප්‍ර. ජාතරූප; රත්රන්.

දාලමධු

නා.ප්‍ර. පත්‍රවල රැස් වන පැණි; රුක් සිදුරුවල සෑදූ වදවල පැණි; කණ මීපැණි.

දාවා

නා.ප්‍ර. සෝදන්නා; ධෝවනය කරන්නා.

දාවාග්නිය

නා. වනයෙහි ඉබේ හටගන්නා ගින්න; ළැව් ගින්න.

දාස භාර්‍යාව

නා. දාසියක් සේ සැමියාට මෙහෙ කරන භාර්යාව; ඉතාම කීකරු බිරිඳ.

දාසයා

නා. වහල් බවට පත් පුද්ගලයා; මෙහෙකරුවා; යටත් වූ පුද්ගලයා.

දාසිය

නා. දාසකම් කරන ස්ත්‍රිය; සේවිකාව; දැස්ස.

දාසෙවිය

නා. වී පොතු; දහයියා.

දාහක කාචය

(පාරිභා.) නා. දවන වීදුරුව; සම්පූර්ණ මතුපිට තලයට වැටෙන තාක් ආලෝකධාරා මධ්‍ය ලක්ෂ්‍යයට (නාභියට) යොමු කරවන කාචය (=burning glass).

දාහකක්ෂාර

(පාරිභා.) නා.ප්‍ර. ඇතැම් රසායනික ද්‍රව්‍ය දවාලන කෝස්ටික් සෝඩා වැනි ක්ෂාර වර්ග (=caustic alkali).

දාහකය

(පාරිභා.) නා. දවන දෙය; ගිනි ගන්වන ද්‍රව්‍යය (= burner).

දාහය

නා. දාඩිය; දහඩියගතිය; (ඇඟ) දැවෙන ගතිය; ඇඟේ රත්වීම; උණ ගතිය.

දාහ්‍ය

(පාරිභා.) වි. දැවෙනසුලු; පිළිස්සීමට භාජන වන; දැවෙන ස්වභාවය ඇති; ගිනි ගන්නා (= inflammable).

දාහි

නා. වී පොතු; දහයියා.

දාහිමිය

1. නා. දෙමාපියන්ගෙන් අනුජාත දරුවන්ට අයිති වන දේපළ ආදිය.
2. නා. පියාගෙන් ජාතක දරුවන්ට ලැබෙන උරුමය.
3. නා. දරුවන්ට හිමි කළ දේපළ ඔවුන්ගේ අභාවයෙන් පසු යළිත් පියාට අයිති වීම.