සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 82

අනභිහිත

වි. නොකියන ලද; අනුක්ත.

අනමතග්ග

වි. කෙළවරක් දැන ගත නොහැකි; අක්මුල් නැති (සංසාරය පිළිබඳව යෙදේ).

අනම්‍ය

1. වි. නැමිය නොහැකි; නොනැමෙන.
2. වි. අවස්ථානුරූප ව වෙනස් කළ නොහැකි.

අනම්‍ය සැපයුම

(පාරිභා.) නා. වරින් වර අඩු හෝ වැඩි හෝ නොවී සම තත්ත්වයේ පවත්නා සැපයුම (=inelastic supply).

අනම්‍යතාව

(පාරිභා.) නා. නොනැමෙනසුලු බව; අනම්‍ය බව; දෘඪතාව.

අනය

නා.ප්‍ර. හානිය; අවැඩ; අනභිවෘද්ධිය.
වි. නීතියක් නැති; අනීතික.

අනයව්‍යසනය

නා. හානිය හා විපත.

අනර්ඝ

වි. ඉතා වටිනා; අගය කළ නොහැකි; ශ්‍රේෂ්ඨ.

අනර්ථ

1. වි. තේරුමක් නැති; නිෂ්ඵල.
2. වි. අහිතකර.

අනර්ථ පරිහාරය

නා. අයහපත වැළැක්වීම; අවැඩ දුරු කිරීම; විපත් බැහැර ලීම.

අනර්ථකදෝෂ

නා.ප්‍ර. පද පූරණය උදෙසා අරුත් රහිත නිපාත ආදිය යෙදීමෙන් සිදු වන කාව්‍ය දෝෂය.

අනර්ථකර

වි. අයහපත ඇති කරන; විපත්තිකර; අනර්ථය පමුණුවන.

අනර්ථකාම

වි. අයහපත කැමති; අවැඩට කැමති; අනර්ථය පතන.

අනර්ථකාරී

වි. හානි කර; අනර්ථකර.

අනර්ථමූලක

වි. අයහපතට හේතු වන; අවැඩට මුල් වන; පරිහානියට මුල් වන.

අනර්ථය

නා. අයහපත; හානිය; විපත.

අනර්ථසංහිත

වි. අයහපත හා සම්බන්ධ වූ; අනර්ථය හා යෙදුණු.

අනර්ථාවහ

වි. අවැඩ පමුණුවන; අයහපත ගෙන දෙන; අනර්ථය ඇති කරන.

අනරිය

1. වි. හීන; පහත්; අධම.
2. වි. අනාර්ය; ආර්ය නොවන.

අනරුත්

වි. තේරුමක් නැති; අරුත් රහිත; අවැඩදායක.
නා.ප්‍ර. අවැඩ; අනර්ථය.

අනල

1. නා.ප්‍ර. ගින්න; වහ්නිය.
2. නා.ප්‍ර. ගිනි දෙවියා; අග්නි දේවතාවා.
3. නා.ප්‍ර. ජීර්ණ ශක්තිය.

අනලඞ්කෘත

වි. අලංකාර නොකරන ලද; සැරසිලි නොකළ.

අනලස

වි. කම්මැළි බවින් තොර; උද්‍යෝගවත්.

අනල්ප

1. වි. අල්ප නොවන; බොහෝ.
2. වි. උදාර; ශ්‍රේෂ්ඨ.

අනවකාශ

වි. ඉඩ නැති; අවකාශ නොමැති.