සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 853

දුර හරිනවා

ක්‍රි. දුරු කරනවා; ඈත් කරනවා.

දුරකතර

නා.ප්‍ර. ඉතා ඈත ප්‍රදේශය; දුරබැහැර.

දුරකථනය

නා. එක් ස්ථානයක සිට තවත් ස්ථානයක සිටි අයකුට කථා කිරීම සඳහා උපයෝගී කරගනු ලබන උපකරණය; ටෙලිපෝනය.

දුරතික්‍රමය

නා. ජයගැනීමට අමාරු බව; ඉක්මවිය නොහැකි බව; පසු කොට ගෙවා යෑමට බැරි බව.

දුරදක්නය

නා. දුර බැලීම සඳහා භාවිත කරන උපකරණයක නාමය; එළිමහනෙහි දී භාවිත කිරීම සඳහා ගෙන යා හැකි ලෙන්ස දෙකකින් යුත් දූරදර්ශකයක්.

දුරදිග පෙනෙනවා

ක්‍රි. ඉදිරියට සිදු වන දේ කල් තබා දකිනවා; අනාගත ප්‍රතිඵල ගැන දැන ගන්නවා.

දුරදිග යනවා

(කථා.) ක්‍රි. යම් කිසි කටයුත්තක් බැරෑරුම් තත්ත්වයකට පත් වෙනවා; නරක අතට හැරෙනවා.

දුරදිගදක්නා

වි. ඈත පෙනෙන; අනාගතය දකින.

දුරධිගම

1. වි. පැමිණීමට අමාරු; නොපැමිණිය හැකි; යා නොහැකි.
2. වි. වටහා ගැනීමට අමාරු; අවබෝධයට අපහසු; දත නොහැකි.

දුරනුබෝධ

වි. වටහා ගැනීමට අමාරු.

දුරනුවර්තනය

(පාරිභා.) නා. සමාජයට නොගැළපීම. (=maladjustment).

දුරනුවර්තිත

(පාරිභා.) වි. වෙනත් ස්ථානයකට හෝ කාලගුණයකට හෝ ඔරොත්තු දෙන ශාරීරික විපර්යාසය සිදු නොවුණු (=ill- adapted).

දුරපතර

(පාරිභා.) වි. කඩින්කඩ විශාල ප්‍රදේශයක පැතිර ඇති; විකීර්ණ (=sporadic).

දුරපවාදය

නා. නින්දාලාපය; දොස් දැකීම.

දුරඵල

නා.ප්‍ර. කල් පසු වී ලැබෙන ප්‍රතිඵලය; කලකින් සිදුවන විපාකය.

දුරබත්

නා.ප්‍ර. (විනය.) සාංඝික ව හෝ පෞද්ගලික ව හෝ මහා සංඝයාට නිතිපතා දෙන දානය; සංඝයාට කැප යයි සඳහන් වන තුදුස් බතින් එකක්.

දුරබැහැර

නා.ප්‍ර. බොහෝ ඈත.

දුරලනවා

1. ක්‍රි. ඈතට දමනවා; ඉවත් කරනවා; අත්හැර දමනවා.
2. ක්‍රි. රෝග උපද්‍රව ආදිය නැති කරනවා.

දුරවබෝධය

නා. පහසුවෙන් නොතේරෙන බව; අමාරුවෙන් වටහා ගත යුතු බව.

දුරස් කරනවා

ක්‍රි. ඈත් කරනවා; ඈත් ව තබනවා.

දුරස්තර

වි. වඩා දුර වූ; දුරතර; වඩා ඈත් වූ.

දුර්ග මාර්ගය

නා. ගමන් කිරීමට දුෂ්කර වූ මඟ; දුක සේ යා යුතු කාන්තාර, ගිරි, වන, ජල ආදිය ඔස්සේ වැටුණු මඟ.

දුර්ගත

වි. දුකට පත්; දුප්පත්; දුඃඛිත.