සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 852

දුම්මල ගහනවා

(කථා.) ක්‍රි. යක් තොවිල්වලදී දැල්වෙන පන්දමට දුම්මල ගහනවා.

දුම්මැස්ස

1. නා. ළිපට උඩින් බඳින මැස්ස; දුම.
2. නා. යටින් ගිනිගසා කොප්පරා ආදිය වියළා ගැනීම සඳහා තනා ඇති මැස්ස.

දුම්මේධයා

නා. මෝඩයා; අඥානයා.

දුම්රිය

නා.ප්‍ර. වානේ පීලි මත යම් බල ශක්තියක ආධාරයෙන් දුවන වාහන විශේෂය; ධූම රථය; කෝච්චිය; රේල්ලුව.

දුම්රිය අංගණය

නා. දුම්රිය ඇංජින් හා රිය මැදිරි ආරක්ෂාවත් අලුත්වැඩියාවත් සඳහා තැබීමට වෙන් කරනු ලබන භූමිභාගය.

දුම්රියපළ

නා. දුම්රිය නවත්වන ස්ථානය; දුම්රිය ස්ථානය; ස්ටේසම.

දුම්රොන්

1. නා.ප්‍ර. වැහිවලාකුළ; මේඝය.
2. නා.ප්‍ර. ගින්න; අග්නිය.

දුම්වැටිය

1. නා. (කරකැවෙමින් නඟින පාවෙන) දුම්රොටුව; දුම්රොද.
2. නා. දුම්පානය පිණිස දුම්කොළ යොදා ඔතා දිගටි ආකාරයට සකසා ගත් සුරුට්ටු, සිගරට් ආදිය.

දුම්සුඹුළු

(කථා.) නා.ප්‍ර. දුම්මැසි, පෝරණු ආදි තැන්වල බැඳෙන හෝ බැඳී ඇති දුම් කැදලි.

දුමානය

නා. නඟින හෝ නංවන දුම; දුමාරය.

දුමාර ගහනවා

ක්‍රි. විෂ හරිනු පිණිස බෙහෙත් දුම් ගහනවා; ධූමනය කරනවා (=fumigation).

දුමාරය

1. නා. දුමට හුරු ගතිය; දුම් ගතිය.
2. නා. දුම; ධූමය.
3. නා. හුමාලය; වාෂ්පය.

දුමින්ද

1. නා.ප්‍ර. (සුරලොව ඇතැයි සැලකෙන) සිතු පැතු දේ දෙන වෘක්ෂය; කල්ප වෘක්ෂය, දුමිඳු.
2. නා.ප්‍ර. මහබෝසතුන් බුදු වීමේ දී පිට දුන් වෘක්ෂරාජයා.
3. නා.ප්‍ර. ලංකාවට වැඩමවනු ලැබූ දැනට අනුරාධපුරයෙහි වැඩවසන ශ්‍රී මහා බෝධීන් වහන්සේ.

දුමිඳු

නා.ප්‍ර. දුමින්ද.

දුමුක්

1. වි. මහත් සේ කැලැඹුණු; දොම්නස් බවට පත්.
2. වි. බාගෙට ඉදුණු; ඉදීමට ළං වුණු.

දුමුව

වි. දුර්මුඛ වූ; කනස්සල්ලට පත්.

දුමොළොසුව

නා. දුම් ගැස්වීම සඳහා අඟුරු දැමීමට භාවිත කරන මිටක් සහිත බඳුන් විශේෂය; අඟුරු කබල; දුම්කබල.

දුඹුටු

නා. (කථා.) දුම නිසා දුම් මැස්සේ ඇතිවන කළු පැහැති ද්‍රව්‍යය.

දුඹුරු

නා.ප්‍ර. රතු හා කළු මිශ්‍ර පාට; දුම් පාට.

දුඹුලු

වි. දැවුණු; දුම් ගැන්වූ; පිළිස්සූ.
1. නා.ප්‍ර. දුම් වැදීම නිසා හටගන්නා වැදලි; දුම් සුඹුලු.
2. නා.ප්‍ර. දුම; ධූමය.

දුඹුළොසු

නා.ප්‍ර. අගුරු කබල; දුමළොසුව.

දුර

1. නා.ප්‍ර. ඈත; එපිට; දුරබැහැර.
2. නා.ප්‍ර. යම්කිසි ස්ථාන දෙකක් හෝ වස්තු දෙකක් අතර පරතරය; දිග ප්‍රමාණය.
3. නා.ප්‍ර. තූර්යවාදකයා.

දුර ගෙවනවා

1. (කථා.) ක්‍රි. කිසියම් දුර ප්‍රමාණයක් පසු කරනවා
2. ක්‍රි. ඉවතලනවා; දුරලනවා.

දුර දකිනවා

(කථා.) ක්‍රි. ඈතට කල්පනා කරනවා; අනාගතය දකිනවා.

දුර නිදානය

1. නා. දීපංකර පාදමූලයෙහි සිට ගෞතම බෝසතුන්ගේ තුසිත දෙව්ලොව උපත දක්වා කාල සීමාව.
2. නා. රෝගයක දුර හේතුව; ශරීරගත රෝග බීජයක් වර්ධනයට ආධාර වන අපථ්‍ය ආහාර ආදි දුර කාරණය.