සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 911

නෑකම් කියනවා

1. ක්‍රි. ඥාති සම්බන්ධකම් දක්වනවා.
2. ක්‍රි. සමාන ලක්ෂණ ඇති බව පවසනවා.

නෑගම් යනවා

ක්‍රි. විශේෂයෙන් අලුත් අවුරුදු හා විවාහ අවස්ථාවලදී තෑගි බෝග ගෙන නෑයන් බලන්න යනවා.

නෑදෑයා

නා. නෑදෑකම් ඇත්තා.

නෑනා

නා. මවගේ සහෝදරයාගේ හෝ පියාගේ සහෝදරියගේ දුව; සැමියාගේ හෝ බිරිඳගේ හෝ සොහොයුරිය.

නෑම්බිය

1. නා. තරුණ වයසේ පසුවන සිව්පා ගැහැනු සත්ත්වයා.
2. නා. තරුණ වයසේ පසුවන (කෙළිලොල්, දඟකාර) අවිවාහක ස්ත්‍රිය.

නෑඹිලිය

නා. හාල් ආදිය ගැරීම, සේදීම සඳහා පතුලෙහි රේඛා රටා කපා ඇති මැටි හෝ ලෝහයෙන් සැදූ භාජනය.

නෑඹුල්

වි. නොඉඳුල්; අලුත්.

නෑයා

නා. ඥාතියා; බන්ධුවරයා; නෑදෑයා.

නෑරැහැන

නා. ගවයාගේ නාසය විද දමන ලණුව; නාස්ලණුව; නැහැපට.

නෑවාසිය

නා. නෑකම; ඥාතිත්වය; ඥාති සම්බන්ධය.

නෑසිය

නා.ප්‍ර. තමන්ගේ නෑදෑ පිරිස; ස්වකීය ඥාති වර්ගයා.

නෑසෙවණ

නා. ඥාතීන්ගේ ඇසුර; නෑයන්ගේ සමීපය; නෑයන්ගේ රැකවරණය.

නෑහේත්තුව

නා. තෑගි බෝග රැගෙන නෑදෑයන් වෙත යන ගමන; නෑගමන.

නි

අව්‍ය. අභාව, ප්‍රතිෂේධ, අතිශය, මහත්, විශාල, සමීප, අවධාරණ, උපමා ආදි අර්ථවල යෙදෙන උපසර්ගයක්.

නිංගිරාව

(කථා.) නා. නිග්‍රහය; නින්දාව; අවමානය; අපහාසය.

නිඃ

අව්‍ය. (සංස්කෘත තත්සම වචනවල) සංකල්‍ය, ප්‍රතිෂේධ, රහිත ආදි අර්ථවල යෙදෙන උපසර්ගයක්.

නිඃක්ෂිප්ත

වි. බහාලන ලද; දමන ලද.

නිඃක්ෂේපය

නා. ඉවත දැමීම; ඉවතලීම.

නිඃශ්වාස

1. නා.ප්‍ර. හුස්ම පිටතට හැරීම; ප්‍රශ්වාසය.
2. නා.ප්‍ර. දුකින් සුසුම් හෙළීම.

නිඃශ්‍රීක

1. වි. ශෝභාවක් නැති; සුන්දරත්වයෙන් තොර.
2. වි. අශුභ; අභාග්‍යසම්පන්න.
3. වි. ප්‍රභාවත් නැති; තේජසක් හෝ යසසක් නොමැති.

නිඃශ්‍රේණි

නා.ප්‍ර. හිණිමඟ; හිණ; ඉනිමග; සෝපානය.

නිඃශේෂ

වි. ඉතිරි නැති; සම්පූර්ණ.

නික

1. නා. පැරණි රන්කාසි විශේෂයක්; නිෂ්කය.
2. නා. කළං පසළොසක බර
3. නා. ඉම; සීමාව.

නිකට

නා.ප්‍ර. යටිතල්ලෙහි ඉදිරි කොටස.