සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 912

නිකටින්

(පාරිභා.) නා.ප්‍ර. දුම්කොළ ආශ්‍රිත විෂ සහිත ඇල්කලොයිඩයක් (=nicotine).

නිකටිනික් අම්ලය

(පාරිභා.) නා. විටමින් 'බී' ඇතුළත් සක්‍රීය ධාතු දෙවර්ගයෙන් එකක් (=nicotinic acid).

නිකණ්ඨනය

(පාරිභා.) නා. මණ්ඩි රැඳෙන සේ ද්‍රාවණයක ජලය බේරා ඉවත්කර ගැනීම. (=decantation).

නිකති

නා.ප්‍ර. වංචාව; මායාව;රැවටීම.

නිකමට

ක්‍රි.වි. අරමුණ විරහිත; තේරුමක් නැති ව.

නිකරමාපාංකය

(පාරිභා.) නා. (භෞති.) කිසියම් පෘෂ්ඨයක සෑම ඉඩ කොටසකට ම සමාන බලයක් යෙදූ කල්හි එය ඇදීමෙන් හෝ පීඩනයට භාජන වීමෙන් හෝ එහි ඇති වූ වෙනස යථා තත්ත්වයට පැමිණීමට ඇති ශක්තියේ ප්‍රමාණය.

නිකරය

1. නා. සමූහය; රාශිය; ගොඩ.
2. නා. රශ්මිය.
3. නා. බීජානුධානි පොකුර; සොරසය (=sorus).
4. නා. ඩිම්බයක් බෙදී යාමෙන් සෑදෙන ඝන සෛල ගෝලය; මොරුලාව (=morula).

නිකරුණෙහි

(කථා.) ක්‍රි.වි. කරුණු රහිත ව; හේතුවක් නොමැති ව; කාරණා විරහිත ව; නිෂ්කාරණව.

නිකල්

නා.ප්‍ර. මිලින නොවන, දිලිසෙන ලෝහමය මූලද්‍රව්‍යයක්; ලෝහ ආලේපයට යොදා ගන්නා මල නොකන ලෝහයක්.

නිකල් රිදී

නා.ප්‍ර. තඹ, තුත්තනාගම් හා නිකල් අඩංගු මිශ්‍ර ලෝහ විශේෂයක්.

නිකෂය

1. නා. උරගල; නිකෂ පාෂාණය.
2. නා. ආයුධ මුවහත් කරන ගල; කරගල.

නිකසළ

[නි + කසළ]
1. වි. කැලැල් නැති; අකලඞ්ක; නිර්මල.
2. වි. කෙලෙස්වලින් මිදුණු.
3. වි. පැහැදිලි; නිරවුල්; නිරවද්‍ය; අව්‍යාකූල.

නික්ඛ

නා.ප්‍ර. මිනුම් ප්‍රමාණයක්; කළන් පසළොසක බර.

නික්ඛමනය

නා. නික්මීම; ඉවත් ව යෑම; බැහැර යෑම; නිෂ්ක්‍රමණය.

නික්ඛිත්තිය

(පාරිභා.) නා. රුධිරවාහිනී ඇහිරීම හෝ හිරවීම (=embolism).

නික්මයාම

1. ක්‍රි. සමුගැනීම.
2. ක්‍රි. පිටත්ව යාම; බැහැර යාම.

නික්මෙනවා

ක්‍රි. බැහැර ව යනවා; පිට වෙනවා; නිෂ්ක්‍රාන්ත වෙනවා; ඉවත් ව යනවා.

නික්ලේශි

වි. කෙලෙස් නැති; නිකෙලෙස්; රහත් වූ.
නා.ප්‍ර. කෙලෙස් නැත්තා; කෙලෙසුන් නැසූ තැනැත්තා.

නික්ෂය

නා. දැමීම; තැන්පත් කිරීම.

නික්ෂිප්ත

1. වි. බහා තබන ලද; තැන්පත් කළ; දැමූ.
2. වි. සිටුවන ලද; රෝපණය කළ.
3. වි. එපා කරන ලද; අත් හරින ලද; අහක දමන ලද.

නික්ෂේපණ(න)ය

1. නා. බහා තැබීම.
2. නා. මරණය; ච්‍යූතිය.
3. නා. බෙහෙත් විදීම.

නික්ෂේපය

1. නා. දැමීම; බහා තැබීම; තැන්පත් කිරීම.
2. නා. තැන්පතුව; සඟවා තබන දෙය.
3. නා. අත් හැරීම; ඉවත දැමීම.

නිකා

1. නා.ප්‍ර. දෙව්ලොව; දිව්‍යලෝකය.
2. නා.ප්‍ර. ඇතුන් බඳින දම්වැල.

නිකාය

1. නා. සමූහය; රාශිය; ගොඩ.
2. නා. දේව අසුර ආදි යෝනිය.
3. නා. සූත්‍ර පිටකයේ ධර්ම කොට්ඨාස ඇතුළත් ග්‍රන්ථ පහ හඳුන්වන නම.
4. නා. කොටස් වශයෙන් බෙදීගිය භික්ෂු පිරිස; ආගමික පූජක සමාගම.
5. නා. වාසස්ථානය; නිවාසය; ගෘහය.