සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 915

නිච්ඡාරය

නා. විහිදුවීම; නිකුත් කිරීම; පිට කිරීම.

නිචිත

1. වි. රැස් කළ; එකතු කළ; තැන්පත් කළ.
2. වි. පිපුණු.

නිජ

වි. උපතින් අයත්; තමාගේ; තමන් පිළිබඳ වූ; ස්වකීය; ස්වීය.

නිජබිම

නා. තමන්ගේ මුල් බිම; මව්බිම; ජන්මභූමිය; නිජභූමිය.

නිජර

නා.ප්‍ර. ජරාවට පත් වීමක් හෙවත් මහලු වීමක් නැත්තා; අමරණීය වූ තැනැත්තා; දෙවියා.

නිජශක්තිය

(පාරිභා.) නා. ද්‍රව්‍යමය පද්ධතියක තිබෙන ශක්තිය; නෛසර්ගික ශක්තිය (=intrinsic energy).

නිජ්ජට

නා. අවුල් රහිත; වියවුල් නැති.

නිජ්ඣත්තිය

නා. යමක තත්ත්වාකාරයෙන් තේරුම් ගැනීම; යථාර්ථ නිරූපණය; තත්ත්වාවබෝධය.

නිජ්ඣාන

1. නා.ප්‍ර. විදර්ශනා ඥානය.
2. නා.ප්‍ර. වැටහීම; අවබෝධය; තීක්ෂ්ය බුද්ධිය.

නිජ්ඣාම

වි. (කෙලෙසුන්) දවන; පුලුස්සන; විනාශ කරන.

නිජ්වලිත

වි. (ගිනිසිළු මෙන්) දිලිසුණු; දැල්වුණු.

නිට

නා.ප්‍ර. අනර්ඝ දෙය; මහඟු දේ.

නිට්ටාව

නා. අවසානය; සම්පූර්ණබව; කෙළවර; නිට්ඨාව.

නිට්ඨුර

වි. සැරපරුෂ; ඉතා රළු.

නිඩුහුරු

නා.ප්‍ර. උඩුකුරු මුවින් නික්මෙන සුසුම; සුසුම් හෙළීම.

නිතම්බ අර්පණය

(පාරිභා.) නා. (නිතඹ පෙදෙස පෙරටු කොට ගෙන) මව් කුසින් බිහිවන භ්‍රෑණයා (=breech presentation).

නිතම්බ කශේරුකා

නා.ප්‍ර. කොඳු ඇට පෙළ බෙදෙන කොටස් පහෙන් එකක නාමය.

නිතම්බය

නා. උකුළ; කටිය; දුවන් පෙදෙස; ජඝනය.

නිතම්බිනී

නා.ප්‍ර. මනා උකූල් (ප්‍රදේශයක්) ඇති ස්ත්‍රිය.

නිතඹ තලය

(පාරිභා.) නා. කෘමීන්ගේ ගුද ප්‍රදේශයේ ඇති කාෂ්ටක දෙක.

නිතර

ක්‍රි.වි. හැමවිට ම; නොනැවතීම; නිරතුරුව ම.

නිතරග

වි. තරගයක් නොමැතිව.

නිතල

(පාරිභා.) වි. මුහුදු පත්ල හෙවත් සාගර පතුල හා සම්බන්ධ. (=benthic).

නිත්ථරණ

නා.ප්‍ර. එතර වීම; එගොඩ වීම.