සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 979

පංශු පිශාච

නා.ප්‍ර. කසළ ගොඩ ආදියෙහි වෙසෙතියි පැවසෙන ප්‍රේත විශේෂයක්.

පංසු

නා.ප්‍ර. මැටි ; දූවිලි ; ධූලි.

පංසුකූල

පාංශුකූල බ.

පක

1. නා. ගෙඩිය ; ඵලය.
2. ඉදුණු ගෙඩිය.
3. පක්ෂය ; චන්ද්‍ර මාසයේ අර්ධය.
4. පිහාටුව.
5. සමූහය.

පක්ව

1. වි. ඉදුණු ; පැසුණු ; මේරූ.
2. දිරවූ ; ජීර්ණ වූ.

පක්වාශය

නා. බොක්කේ පැසුණු ආහාර තැන්පත් වන උදර පාර්ශ්වය.

පක්ෂ

1. වි. පැත්ත ගත්; පක්ෂපාත වූ ; හිතවත් ; අවනත
2. පක්ෂයට අයත් ; පක්ෂය පිළිබඳ.

පක්ෂ ක්‍රමය

නා. ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය යටතේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයක් තෝරා ගැනීම සඳහා අපේක්ෂකයන් තරග වැදිය යුතු සංවිධාන ක්‍රමය.

පක්ෂ භජනය

නා. අගතිගාමී ලෙස එක් පක්ෂයකට පමණක් වැඩි සැලකිලි දැක්වීම ; පැත්තක් ගැනීම.

පක්ෂග්‍රාහී

වි. (වැරදි අන්දමට) පැත්ත ගන්නා ; පක්ෂ භජනය කරන ; මධ්‍යස්ථ නොවන ; අගතිගාමී.

පක්ෂපාත

වි. පැත්තට නැමුණු ; අවනත ; පැත්ත ගත් ; හිතවත් ; විශ්වාස කටයුතු.

පක්ෂය

1. නා. පැත්ත ; අංශය ; පාර්ශ්වය.
2. කණ්ඩායම ; පිල.
3. චන්ද්‍ර මාසයෙන් භාගය.
4. පක්ෂීන්ගේ පියාපත ; පක්ෂපත්‍රය.

පක්ෂාඝාතය

නා. ශරීරයේ අංශයක් අප්‍රාණික ව අක්‍රිය වීම ; අංසබාග රෝගය.

පක්ෂාවරණය

නා. කුරුමිණියකුගේ පිටිපස පියාපත්වලට වැස්මක්සේ පිහිටි ඉදිරි පියාපත්.

පක්ෂි විද්‍යාව

නා. පක්ෂීන් පිළිබඳ කරුණු උගන්වන ශාස්ත්‍රය.

පක්ෂියා

නා. පියාපත් ඇත්තා; කුරුල්ලා ; විහඟා.

පකාපැකි

නා.ප්‍ර. ලොකු කුඩා ගෙඩි.

පකිස් පෙට්ටිය

නා. වෙළෙඳ භාණ්ඩ අසුරාලීම සඳහා සැහැල්ලු ලීවලින් සාදන ලොකු පෙට්ටිය.

පග්ඝරණ

නා.ප්‍ර. ගැලීම ; වැගිරීම.

පගාව

නා. අයුත්තට කෙනකු පොළඹවා ගැනීමට දෙන දීමනාව ; අල්ලස.

පගෝදිය

නා. රුපියල් හතරක් වටිනා පැරණි රන් කාසියක්; වරාගම්.

පචනය

1. නා. ආහාර ආදිය පිසීම ; ඉවීම.
2. පිළිස්සීම ; දැවීම.
3. පැසීම ; දිරවීම.

පචනාගාරය

නා. ආහාර පිසීමට ගනු ලබන ගෘහය ; මුලුතැන් ගෙය ; කුස්සිය.