සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 980

පචනාරි ඝටය

නා. ස්ත්‍රී රූප පහක් කළයක රූපයක් ඇති වන සේ ගළපා දක්වන දේශීය චිත්‍ර මෝස්තරයක්.

පචය

නා. බොරුව ; සම්පූර්ණ අසත්‍යය ; හදාගත් කථාව ; ප්‍රලාපය.

පච්ච

1. නා.ප්‍ර. පච්ච පාට ; කොළ පාට.
2. මරකත මැණික්.
3. (කථා.) හම තුළට පාට යවා නොමැකෙන ලෙස ඇඳි රූප.

පච්ච කොටනවා

ක්‍රි. හම තුළට ඉඳිකටු මගින් පාට ඇතුළු කොට නොමැකෙන ලෙස රූප සටහන් කරනවා.

පච්ච වඩම

නා. රතු පාට රෙදි වර්ගයක්.

පච්චුපකාරය

නා. කළ උපකාරයට පෙරළා කරන උපකාරය ; ප්‍රත්‍යුපකාරය.

පච්චුප්පන්න

නා.ප්‍ර. වර්තමාන කාලය ; පවතින කාලය ; අද්‍යතන කාලය.

පච්චේක බුද්ධ

නා.ප්‍ර. අන්‍යයකුගේ උපදෙස් නැති ව තමා ම චතුරාර්ය සත්‍යය අවබෝධ කළ නමුත් අනුන්ට එය අවබෝධ කරවීමේ ශක්තියෙන් තොර සර්වඥයන් වහන්සේ ; පසේ බුදු.

පච්ඡිම

1. වි. අන්තිම ; අවසාන.
2. බටහිර ; අපරදිග.

පජාතියා

නා. හීන කුලිකයා ; පහත් වැඩ කරන්නා ; නීචයා ; අසමජ්ජාතියා.

පඤ්ච

වි. පහකින් යුක්ත ; පහකින් සැදුම් ගත්.

පඤ්ච අභිඥා

නා.ප්‍ර. ශ්‍රේෂ්ඨ ඥාන පස ; - එනම් ඉද්ධිවිධ, දිබ්බසෝත, පරචිත්ත විජානන, පුබ්බේනිවාසානුස්සති හා දිබ්බචක්ඛු.

පඤ්ච උපාදානස්කන්ධ

නා.ප්‍ර. පස් වැදෑරම් උපාදාන ස්කන්ධ; එනම් රූප, වේදනා, සංඥා, සංස්කාර හා විඤ්ඤාණ.

පඤ්ච කල්‍යාණය

නා. කාන්තා රූප ශෝභාවට අයත් කේශ, මාංශ, දන්ත, ඡවි සහ වයඃ යන අංග පහ.

පඤ්ච නීවරණ

නා.ප්‍ර. කුසල් සිතුවිලි පහළ විය නොදී සිත අවුරන කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්චකුක්කුච්ච, විචිකිච්ඡා යන අකුශල පස.

පඤ්ච ප්‍රකාර

වි. විධි පහකින් යුත් ; පස් වැදෑරුම් ; පංච විධ.

පඤ්ච බාණ

නා.ප්‍ර. පියුම්, හෝපලු, මී අඹ, දෑසමන් සහ නිලුපුල් යන මල් පස් වර්ගය ඊතල ලෙස ගෙන විදින්නා වන අනංගයා ; මල්සරා.

පඤ්ච මහා ගංගා ගංගා

නා. ඉන්දියාවේ පිහිටි මහා නදී පහ ; ගංගා, යමුනා, අචිරවතී. සරභූ සහ මහී යන ප්‍රධාන ගංගා.

පඤ්ච මහා විලෝකනය

නා. පස් මහ බැලුම් ; බෝසතාණන් බුදු වන ආත්මයෙහි මිනිස් ලොව ඉපදීමට ප්‍රථමයෙන් විමසා බලන ලද කාලය, දේශය, ද්වීපය, කුලය සහ මව යන කරුණු පහ.

පඤ්ච ශීලය

නා. සතුන් මැරීම, සොරකම් කිරීම, කාමයෙහි වරදවා හැසිරීම, බොරු කීම, සුරාපානය යන පස්පවින් වැළකී සිටීමේ සීලය ; පන්සිල්.

පඤ්චකකුධ භාණ්ඩ

නා.ප්‍ර. රාජ පදවියට අයත් ඔටුන්න, වල් විදුනාව, මඟුල් කඩුව, සේසත, මිරිවැඩි සඟළ යන භාණ්ඩ පඤ්චකය.

පඤ්චකර්ම

නා.ප්‍ර. දේශීය වෛද්‍ය ශාස්ත්‍රයෙහි දැක්වෙන වමන, විරේචන, නස්‍ය, නිරූහන (වස්ති) සහ අනුවාසන යන ප්‍රතිකාර විධි පහ.

පඤ්චකාම

නා.ප්‍ර. බුද්ධ ධර්මයෙහි ඉගැන්වෙන රූප, ශබ්ද, ගන්ධ, රස සහ ස්පර්ශ යන පස් ආකාර ඇලීම ; ඇස, කණ, නාසය, දිව ශරීරය යන පංචේන්ද්‍රිය මඟින් අත්දකින දේට ඇති ඇල්ම.

පඤ්චගති

නා.ප්‍ර. බුදු සමයෙහි දැක්වෙන නිරය, තිරිසන්, ප්‍රේත, මනුෂ්‍ය සහ දිව්‍ය යන සත්ව උත්පත්ති ස්ථාන පහ.

පඤ්චගව්‍ය

නා.ප්‍ර. ගවයාගෙන් ලබාගන්නා එළකිරි, දී, ගිතෙල්, ගොම, ගෝ මුත්‍ර යන ද්‍රව්‍ය පහ.