සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 981

පඤ්චතූර්ය

නා.ප්‍ර. ආතත, විතත, විතතාතත, ඝන සහ සුසිර යන වාද්‍ය භාණ්ඩ වර්ග පහ.

පඤ්චද්වාරය

නා.ප්‍ර. අරමුණු සිතට වැදගන්නා හෙවත් චක්ඛු, සෝත, ඝාන, ජිව්හා සහ කාය යන දොරටු හෙවත් ඉන්ද්‍රිය පහ.

පඤ්චධර්ම

නා.ප්‍ර. බුදු දහමෙහි එන ශ්‍රද්ධා, ශීල, ශ්‍රැත, ත්‍යාග, ප්‍රඥා යන ගුණ ධර්ම පහ.

පඤ්චභූත

නා.ප්‍ර. පඨවි, ආපෝ, තේජෝ, වායෝ සහ ආකාස යන මහා භූත පහ.

පඤ්චම

වි. සංඛ්‍යා වසයෙන් පස්වැන්නට ගැනෙන ; පස්වැනි.
නා.ප්‍ර. ඉන්දියාවේ ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය සහ ශුද්‍ර යන කුල සතරට වඩා පහත් යැයි සම්මත පස්වැනි කුලය ; හරිජන කුලය.

පඤ්චමාර

නා.බහු. මාරයන් පස්දෙනා ; බුදු දහමෙහි දැක්වෙන ක්ලේශ, ස්කන්ධ, අභිසංස්කාර, දේව පුත්‍ර සහ මෘත්‍යු යන මාරයන් පස්දෙනා.

පඤ්චරස

නා.ප්‍ර. අම්ල, ලවණ, තිත්ත, කටුක සහ කසාව යන රස පහ.

පඤ්චලෝහ

නා.ප්‍ර. රන්, රිදී, තඹ, සුදු ඊයම් සහ කළු ඊයම් යන ලෝහ වර්ග පහ ; පස්ලෝ.

පඤ්චවිධ

වි. විධි පහකින් යුත් ; පස් වැදෑරුම්.

පඤ්චශත

නා.ප්‍ර. පන්සියය.

පඤ්චශිඛාව

නා. හිසෙහි බැඳි කුඩා කොණ්ඩා පහ.

පඤ්චස්කන්ධය

නා. බුදු දහම අනුව සත්වයා සැදී ඇති කොටස් පහ ; රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධ පහ.

පඤ්චාංග

වි. කොටස් පහකින් යුත් ; අංග පසකින් සමන්විත.

පඤ්චාඞ්ගය

1. නා. ඖෂධ සඳහා පැළෑටියකින් ගනු ලබන කොටස් පහ ; කොළ, මුල්, පොතු, මල් සහ ගෙඩි.
2. (ජ්‍යෝති.) (එක් හිරු උදාවක සිට අනෙක් හිරු උදාව දක්වා යෙදෙන නැතහොත් කිසියම් මොහොතකට අයත්) ජ්‍යෝතිශ් ශාස්ත්‍රානුකූල කරුණු පහ ; දිනය, තිථිය, නැකත, යෝගය හා කරණයයි.

පඤ්චානන්තරිය කර්මය

නා. ඊළඟ ජන්මයෙහිදී නොවරදවා ම විපාක දෙන මහා සාවද්‍ය අකුසල් පහ ; මව මැරීම, පියා මැරීම, බුදු සිරුරේ ලේ සෙලවීම, රහතුන් මැරීම, සංඝ භේදය.

පඤ්චායුධ

1. නා.ප්‍ර. පැරණි යුද්ධවල දී පාවිච්චි කරන ලද ආයුධ පහ ; දුනු, මුගුරු, අඩයටි, පත්කොහොල් සහ පාරාවළලු හෝ දුනු, මුගුරු, කඩු, අඩයටි.
2. බාල දරුවන්ගේ ආරක්ෂාව පිණිස ගෙළ පළඳවන මේ ආයුධ පහ සටහන් කළ රන් මාල පෙත්ත.

පඤ්චේන්ද්‍රිය

1. නා. ඇස, කණ, නාසය, දිව සහ කය යන ඉන්ද්‍රිය පහ.
2. ශ්‍රද්ධා, වීර්ය, ස්මෘති, සමාධි සහ ප්‍රඥා යන පහ.

පට

වි. සේදවලින් කරන ලද ; සිල්වලින් නිමවන ලද.
1. නා.ප්‍ර. සේද නූල් ; සේද නූලින් වියන ලද වස්ත්‍රය.
2. නූල්, කඹ ආදියේ තනි වෙළුව ; තනි රැහැන ; රෙදි ආදියේ කෙළවර ; කොන.
3. දාමය ; මාලාව.
3. තනතුරක් හෝ ගෞරව නාමයක් හෝ පිරිනැමීමේ දී නළලෙහි පළඳවනු ලැබූ අලංකාර පටිය.

පට පණුවා

නා. පටනූල් ලබා ගැනීම සඳහා ඇති කරනු ලබන දළඹුවා ; සේද පණුවා.

පට බඳිනවා

1. ක්‍රි. නළල් පට බැඳීමෙන් තනතුරක් හෝ නම්බු නාමයක් හෝ දෙනවා.
2. සරදමට හෝ උපහාසයට ලක් කිරීමේ අරමුණින් කෙනකුට නම් යොදනවා ; සැබෑ නම වෙනුවට අන්වර්ථ නාම භාවිත කරනවා.

පටක

නා.ප්‍ර. සමාන ක්‍රියාකාරිත්වයකින් යුත් සෛල සමූහය ; නිශ්චිත කාර්යයක් සඳහා එක් වූ සෛල කාණ්ඩය.

පටක ජනකය

(පාරිභා.) නා. ශාකයක පටක විභේදනය වන ප්‍රදේශය.

පටක වගාව

(පාරිභා.) නා. පෝෂක තරලයක අඩංගු වෙන් වී ඇති සත්ව හෝ ශාක පටක කොටස් වර්ධනය වන්නට සැලැස්වීම.