අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 241

භූතල

නා.ප්‍ර. පොළෝ තලය (සං. භූතල)

භූතාර්ථය

නා. යථාර්ථය (සං. භූතාර්ථ)

භූතාවේශය

නා. යක්ෂ, භූත ආදීන් ආරූඪ වීම (සං. භූතාවෙශ)

භූමදානය

නා. මළ සිරුරු වළ ලෑම

භූමාටු

වි. පොළොවෙහි වසන (පා. භූමට්ඨ)

භූමිකම්පාව

නා. භූචලනය (සං. භූමිකම්පා)

භූමිකාව

නා. නාට්‍යයක චරිත විලාසය/ කාර්යය (සං. භූමිකා)

භූමිය

නා. බිම; පොළොව/ ඉඩම/ ලෝකය (පා. සං. භූමි)

භූෂණය

නා. සැරසිල්ල; අලංකාරය (සං. භූෂණ)

භූෂිත

වි. සරසන ලද; අලංකාර කරන ලද; පැලැඳි (සං. භූෂිත)

භෘංගයා

නා. මීමැස්සා; බමරා (සං. භෘඞ්ග)

භේදනය

නා. බිඳීම; වෙන් වීම (පා. සං. භෙදන)

භේදභින්න

වි. වෙන් වූ; බෙදීගිය; කොටස්වලට බෙදුණු

භේදය

නා. බෙදීම/ අමනාප වීම/ විෂමතාව (පා. සං. භෙද)

භේද්‍ය

වි. බෙදිය යුතු; වෙනස් කළ යුතු (සං. භෙද්‍ය)

භේරි නාදය

නා. බෙර වයන හඬ (සං. භෙරිනාද)

භේරුණ්ඩ පක්ෂියා

නා. මනඃකල්පිත පක්ෂියෙක්

භේසජ්ජ

නා.ප්‍ර. බෙහෙත් (පා. භෙසජ්ජ)

භෛරව

වි. භයානක; බියකරු; භය උපදවන නා.ප්‍ර. දේවතා විශේෂයක නාමය (සං. භෛරව)

භෛෂජ්‍ය

නා.ප්‍ර. බෙහෙත් (සං. භෛෂජ්‍ය)

භෝගය

නා. වස්තුව; ධනය/ පරිභෝගය/ ආහාර වර්ග (පා. සං. භොග)

භෝජනය

නා. කෑමට ගන්නා දෙය; ආහාරය (පා. භොජන)

භෝජනාගාරය

නා. බොජුන් හල (සං. භොජන+ආගාර)

භෝජ්‍ය

නා.ප්‍ර. කෑමට සුදුසු දෙය; අනුභව කිරීමට යෝග්‍ය වූව/ දශවිධ ශබ්දවලින් එකක් (සං. භොජ්‍ය)