අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 267

යෙළ

වි. අර්ධය/ එක හමාර

යොදුන

නා. ගවු 4 ක හෙවත් සැතපුම් 16 ක දුර ප්‍රමාණය (පා. සං. යොජන)

යෝග්‍ය

වි. සුදුසු; ගැළපෙන (සං. යොග්‍ය)

යෝග්‍යතා පරීක්ෂණය

නා. සුදුසුකම් විමසා බැලීමේ පරීක්ෂණය

යෝජනාවලිය

නා. යෝජනා මාලාව

යෝධ

වි. විශාල; ශක්ති සම්පන්න (සං. යොධ)

යෝනක

වි. යවන දේශයට අයත්; මරක්කල

යෝනි

නා.ප්‍ර. ස්ත්‍රී රහසඟ/ ආත්ම භාවය; ජාතිය (පා. සං. යොනි)

යෝනිසෝමනසිකාරය

නා. නුවණින් මෙනෙහි කිරීම (පා. යොනිසොමනසිකාර)

යෝෂිතා

නා.ප්‍ර. කාන්තාව (සං. යොෂිතා)

යෞවන

වි. යොවුන් (සං. යෞවන)

යෞවනිය

නා. යොවුන් ස්ත්‍රිය (සං. යෞවනී)

යෞවනෝදය

නා. තාරුණ්‍යයට පත්වීම

රංගනය

නා. නැටුම; රැඟුම (සං. රඞ්ගන)

රංගපීඨය

නා. රැඟුම් රඟන වේදිකාව (සං. රඞ්ගපීඨ)

රංගභූමිය

නා. රඟමඬල (සං. රඞ්ගභූමි)

රංචුව

නා. සමූහය; රැළ

රංජනය

නා. සතුටු කිරීම; පිනවීම/ වර්ණවත් කිරීම; සායම් පෙවීම (සං. රඤ්ජන)

රක්ත

වි. රතු පැහැයෙන් යුතු; ඇලුණු; ආසක්ත වූ (සං. රක්ත)

රක්තානු

නා.ප්‍ර. සිරුර තුළ ඔක්සිජන් වාහක රතු රුධිරාණු

රක්ෂණ

වි. රකින/ රැක්ම සඳහා වග කියන (සං. රක්‍ෂණ)

රක්ෂණාවරණය

නා. රැකවරණය සැලසීම; ආරක්ෂාව හා උපද්‍රව වැළකීම

රක්ෂාව

නා. ආරක්ෂාව/ රැකියාව (සං. රක්‍ෂා)

රක්ෂාවරණය

නා. රැකවරණය