අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 276

ලංකාගමනය

නා. ලක්දිවට පැමිණීම

ලංකාණ්ඩුව

නා. ලංකාවෙහි ඇති පාලන සංවිධානය; ලක් රජය

ලංකේශ්වර

නා.ප්‍ර. ලංකාවට අධිපති; ලංකාවේ රජ

ලංසි

නා.ප්‍ර. ලන්සි

ලංසු

නා.ප්‍ර. වෙන්දේසියක ආරම්භක මිල/ යමක් ඉටු කළ හැකි මිල ගණන (පුර්. lanzo)

ලකලෑස්තිය

නා. මනා සූදානම

ලකෂ්‍යාර්ථය

නා. වාච්‍යාර්ථය හා සම්බන්ධ අප්‍රධාන අර්ථය (සං. ලක්‍ෂ්‍යාර්ථ)

ලකළ

වි. අලංකාර කළ (පා. අලංකත සං. අලංකෘත)

ලක්ඛණ

නා.ප්‍ර. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන සංස්කාර ධර්මයන්ගේ ස්වභාවය (පා. ලක්ඛණ)

ලක්මිණිපහන

නා. ලංකාවේ පැරණි සිංහල පුවත්පතක නාමය

ලක්ෂණය

නා. ලකුණ; හැඩහුරුව (සං. ලක්‍ෂණ)

ලක්ෂය

නා. සලකුණ/ ඉලක්කය/ සියක් දහස (සං. ලක්‍ෂ)

ලක්ෂ්මී

නා.ප්‍ර. ශ්‍රී කාන්තාව/ සම්පත්තිය (සං. ලක්‍ෂමී)

ලක්ෂ්‍යය

නා. ඉලක්කය/ ස්ථානය; තුඩ (සං. ලක්‍ෂ්‍ය)

ලකුණ

නා. සලකුණ; හැඩහුරුකම (පා. ලක්ඛණ සං. ලක්‍ෂණ)

ලකුණ්ටක

වි. මිටි (පා. ලකුණ්ටක)

ලකුළු

වි. අලංකාර (පා. අලංකත සං. අලංකෘත)

ලග්න

නා.ප්‍ර. ඇලීම; ක්ෂිතිජයෙන් උදා වූ රාශිය (සං. ලග්න)

ලග්නාධිපති

නා.ප්‍ර. ලග්නයට හිමි ග්‍රහයා

ලගිනවා

ක්‍රි. නවාතැන් ගන්නවා/ වැතිරී සිටිනවා (පා. සං. ලඞ්ඝති)

ලඝු

වි. කෙටි; ලුහු/ ගුරු නොවූ; සැහැල්ලු (පා. සං. ලඝු)

ලඝුගණකය

නා. නිත්‍ය සංඛ්‍යාවක්, වෙනත් දෙන ලද සංඛ්‍යාවක් ලැබෙන පරිදි එසවිය යුතු බලයේ දර්ශකය

ලඝුලේඛනය

නා. කියන දේ කෙටි සංඥා මගින් සටහන් කර ගැනීමේ ක්‍රමය

ලජ්ජා

නා.ප්‍ර. සිතෙහි පහළ වන විළිය (පා. සං. ලජ්ජා)