අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 277

ලජ්ජාශීලී

වි. කුලෑටි; කොහොල්

ලණුව

නා.ප්‍ර. කොහු, හණ ආදියෙන් අඹරා සාදන රැහැන; කඹය

ලතු

නා.ප්‍ර. ලාකඩ/ රත් පැහැය

ලදුපත

නා. කුවිතාන්සිය; මුදල් භාරගත් බවට දෙන රිසිට්පත

ලනවා

ක්‍රි. බහාලනවා; දමනවා

ලන්තෑරුම

නා. අතින් එල්ලා ගෙන යන ලාම්පු විශේෂයක්; හරිකේන් ලාම්පුව (ල. lantaein පුර්. lanteina)

ලන්ද

නා. කුඩා කැලෑව

ලන්දේසි

නා.ප්‍ර. ඕලන්දයේ හෙවත් නෙදර්ලන්තයේ වැසියා; ඕලන්ද ජාතිකයා (පුර්. Hollandez ල. Hollandgehe)

ලන්සි

නා.ප්‍ර. ලන්දේසි

ලඳු

නා.ප්‍ර. ලන්ද

ලඳු කැලෑව

නා. පඳුරු සහිත නොමේරූ ගසින් ගැවසීගත් භූමිය

ලබ්ධිය

නා. ආගම; දෘෂ්ටිය (සං. ලබ්ධි)

ලම්බක

වි. තිරස් තලයකට ඍජුකෝණාකාර ව ඇති (සං. ලම්බක)

ලම්බකර්ණ

වි. එනම් ගෝත්‍රයට අයත් (සං. ලම්බකර්ණ)

ලම්බනය

නා. එල්ලෙන නොහොත් එල්බ සිටිනා දෙය (සං. ලම්බන)

ලම්බාකාර

වි. එල්ලෙන ස්වභාවය ඇති

ලම්බෝදර

නා.ප්‍ර. ගණ දෙවියා (සං. ලම්බොදර)

ලමැණි

වි. ලම්බකර්ණ වංශික වූ (පා. ලම්බකණ්ණ සං. ලම්බකර්ණ)

ලඹ

වි. එල්බෙන (පා. සං. ලම්බ)

ලඹදර

නා.ප්‍ර. ලම්බෝදර

ලඹය

නා. නූලක, බරක් එල්ලීමෙන් සෑදූ සිරස් රේඛාව දක්වන උපකරණය

ලය

නා. තාලය/ සිත (පා. සං. ලය)

ලයාන්විත

වි. තාලය අනුව යන