සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1039

ප්‍රතිහත

1. වි. ගැටුණු ; ප්‍රතිඝ කළ.
2. පටලැවුණු.
3. කෝපයට පත්.
4. වැළැක් වූ ; පීඩිත.

ප්‍රතිහනනය

1. නා. ගැටීම ; හැපීම.
2. නැවත පහර දීම.

ප්‍රතිහාරයා

නා. දොරටුපාලයා ; රැකවලා ; මුරසෙබළා.

ප්‍රතිහාර්ය

නා.ප්‍ර. වැළැක්වීම.

ප්‍රතිහාරිකාව

නා. ද්වාර පාලිකාව ; පිළිහැරිය.

ප්‍රතීක ක්‍රියාව

නා. ඉබේ කෙරෙන ක්‍රියාව ; ඉච්ඡානුග නොවන චාලක ක්‍රියාව ; උත්තේජයක් නිසා ඉබේ සිදුවන ක්‍රියාව.

ප්‍රතීකය

(පාරිභා.) නා. 1. සංකේතය ; ලකුණ.
2. පරාවර්තනය.

ප්‍රතීක්ෂණ

1. නා.ප්‍ර. යමක් දෙස නැවත බැලීම ; බලා සිටීම.
2. බලාපොරොත්තුව ; අපේක්ෂාව.

ප්‍රතීකාරකයා

නා. දඬුවම් ලැබීමට සුදුසු පුද්ගලයා ; (නීත්‍යනුකූල ව) දඬුවම් ලැබිය යුතු තැනැත්තා.

ප්‍රතීත

වි. ප්‍රකට ; ප්‍රසිද්ධ.

ප්‍රතීත්‍ය සමුත්පාදය

නා. (අභි.) අවිද්‍යාදි සංස්කාර ධර්මවල හේතුඵල නියමය ; අවිද්‍යාව ඇති කල්හි ඒ හේතු කොටගෙන සංස්කාර හටගැනීම ද සංස්කාර ඇති කල්හි ඒ නිසා විඤ්ඤාණය හටගැනීම ද ඒ ඒ ධර්ම නිසා තවත් ධර්ම හටගැනීම ද ඇතුළු ව සංසාරය නොසිඳී පවත්නා සැටි උගන්වන හේතුඵල ධර්මය.

ප්‍රතීති ඥානය

නා. (පාරිභා.) (දර්ශන.) යම්කිසි දෙයක් හෝ පුද්ගලයකු හෝ සම්බන්ධයෙන් ඒ හා ආශ්‍රයෙන් ලබාගන්නා දැනුම.

ප්‍රතීතිය

1. නා. ප්‍රකට බව ; ප්‍රසිද්ධිය.
2. අවබෝධය ; තේරුම් ගැනීම.

ප්‍රතීප

වි. විරුද්ධ ; වෙනස්.

ප්‍රතීයමාන

1. වි. පැහැදිලි ; ප්‍රත්‍යක්ෂ ; ප්‍රකට.
2. හැගෙන ; හැඟවෙන.

ප්‍රථම

1. වි. පළමුවැනි ; මුල් ; ආරම්භ ; ඉදිරියෙහි වන ; පූර්ව.
2. ප්‍රධාන ; උසස්තම.

ප්‍රථම පුරුෂය

නා. තමන් හා තමන් ඉදිරියෙහි සිටිනවුන් හැර අන්‍යයන් හැඳින්වීම සඳහා ව්‍යාකරණ ශාස්ත්‍රයෙහි යෙදෙන නාමය.

ප්‍රථම පුරුෂයා

නා. (පරපූරක) ආදිම තැනැත්තා ; පළමු පුද්ගලයා.

ප්‍රථම ඵලය

1. නා. ප්‍රථම ඵලදාව ; පළමු අස්වැන්න.
2. සත්‍යාවබෝධය පිළිබඳ ඵල සතරෙන් පළමුවැන්න ; සෝවාන් ඵලය.

ප්‍රථම බෝධිය

නා. බුදුබව ලැබීමෙන් පසු බුදුරදුන් ඉක්ම වූ මුල් වසර විස්ස.

ප්‍රථම භාගය

නා. මුල් කොටස ; පළමු කාල සීමාව ; මුල් අවධිය ; මුල් අඩ.

ප්‍රථම යාමය

නා. රාත්‍රී කාලයේ පළමු කොටස ; පෙරයම.

ප්‍රථම විධාතෘ

නා.ප්‍ර. පළමු මැවුම්කරු ; මහා බ්‍රහ්මයා.

ප්‍රථමාධාර

නා.ප්‍ර. හදිසි අනතුරකට හෝ ආබාධයකට ලක් වූ පුද්ගලයකුට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට ප්‍රථමයෙන් කරනු ලබන පිළියම.