සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1038

ප්‍රතිශාලාව

නා. ගෙහි ඉදිරිපස පිහිටි ශාලාව ; ආලින්දය ; ඉස්තෝප්පුව.

ප්‍රතිශීර්ෂ

1. වි. මුදුනට විරුද්ධ ; පහළ ; පහත.
2. එක් පුද්ගලයකුට අයිති ; තනි පුද්ගලයකුට අදාළ.

ප්‍රතිශෝධක

වි. සංශෝධන ; නැවත බලා සකස් කරන.

ප්‍රතිශෝධනය

1. නා. යළි සකස් කරලීම ; නැවත සංශෝධනය.
2. (නීති.) පරිශෝධනය ; නිවැරදි කිරීම පිණිස නැවත සලකා බැලීම.

ප්‍රතිශෝධිත මද්‍යසාරය

නා. රෙක්ටිෆයිඩ් ස්ප්‍රීතුව.

ප්‍රතිශෝෂණය

(පාරිභා.) නා. 1. පූර්වයෙහි ස්ඵටික බවට පත් ඛනිජයක් මැග්මාවල නැවත ද්‍රාවණය වීමේ ක්‍රියා පද්ධතිය.
2. පූර්වයෙහි මුදා හරින ලද (සත්ව.) දේහය හෝ පද්ධතිය හෝ විසින් යළි උරාගනු ලැබීම.

ප්‍රතිෂ්ඨා

1. නා.ප්‍ර. පිහිට ; සරණ.
2. පිහිටුවීම.
3. හේතුව ; පදනම ; සාධකය.
4. (ඡන්ද.) එක් පාදයක අකුරු සතරකින් යුත් ඡන්දස් විශේෂය.
5. සතර පාදයෙහි අකුරු 16 කින් යුත් ඡන්දස.
6. දායාදය.

ප්‍රතිෂ්ඨානය

1. නා. පිහිටීම ; සිටීම.
2. (නීති.) (දේපල ආදිය සම්බන්ධයෙන්) යමක් කලින් තිබූ තත්ත්වයට පත් කිරීම ; ස්ථාවරත්වයක් ලබාදීම.

ප්‍රතිෂ්ඨාපනය

1. නා. පිහිටුවීම ; සංස්ථාපනය ; තහවුරු බව.
2. යමක් වෙනුවට යෙදූ දෙය හෝ යෙදූ තැනැත්තා ; ආදේශකයා.

ප්‍රතිෂේධය

නා. වැළැක්වීම ; බාධාව ; නිෂේධය.

ප්‍රතිසංඥාව

නා. ඉන්ද්‍රිය ද්වාරයෙන් හිස් මොළයේ ජීවාණුන් ලබාගත් සලකුණක් අනුව ශරීරයේ අවයව වෙත යවනු ලබන සලකුණු ; ලැබුණු සංඥාව අනුව දෙනු ලබන සංඥාව.

ප්‍රතිසංතුලනය

(පාරිභා.) නා. ද්‍රව්‍ය මානයෙහි දී සමබර වීම සඳහා බර අඩු අංශය දරන ප්‍රතිවිරුද්ධ ප්‍රයත්නය ; සමබරතාව රැකීම පිණිස පීඩනයට පත්වන ද්‍රව්‍යයක් තුළ ඇති වන ප්‍රතිරෝධක ක්‍රියා ශක්තිය.

ප්‍රතිසංවිධාන

නා.ප්‍ර. (සමිති, සමාගම්, සංස්ථාදිය පිළිබඳ ව පැවත ආ ක්‍රමයක් වෙනස් කොට) නැවත නිසි පරිදි පිළියෙල කිරීම ; පැවති ක්‍රමය වෙනස් කොට නව මුහුණුවරකින් (මනා සේ) පිහිටු වීම.

ප්‍රතිසංවේදනය

නා. (කුශල අකුශල කර්ම විපාක මෙලොව දී හෝ පරලොව දී) නැවත නැවත විඳීම.

ප්‍රතිසංස්කරණය

1. නා. අඩුපාඩු මග හරවා නැවත හරි ගැස්සීම ; අලුත්වැඩියා කිරීම ; නැවත නැවත සකස් කිරීම ; පිළිසකර කිරීම.
2. ප්‍රකෘතිමත් කිරීම ; යථා තත්ත්වයට පත් කිරීම.

ප්‍රතිසංහෘත

වි. හකුළුවන ලද ; සම්පිණ්ඩිත වූ.

ප්‍රතිසන්ධි විපාකය

නා. පිළිසිඳ ගැනීම ඇති කරවීමට සමත් කර්මයාගේ විපාකය හෙවත් පලදීම.

ප්‍රතිසන්ධිය

1. නා. නැවත ඉපදීම ; භවයෙන් භවය ගැළපීම ; එක් භවයකින් චුත වී අනෙක් භවයක ඉපදීම.
2. ගර්භග්‍රහණය ; ගැබ් ගැනීම ; පිළිසිඳ ගැනීම.

ප්‍රතිසම්පාදනය

(පාරිභා.) නා. හිඟ පිරවීම ; ආපසු ඇති කිරීම; ප්‍රතිස්ථාපනය ; යමක් වෙනුවට හෝ හිලවුවට හෝ යෙදීම.

ප්‍රතිසම්බන්ධය

(පාරිභා.) නා. දෙමව්පියන්ගේ සහජ ලක්ෂණවලට වෙනස් ව ඔවුන්ගේ පැවතෙන්නකු තුළ ඇතිවන ප්‍රවේණ්‍යණු.

ප්‍රතිසමාන්තර රේඛා

(පාරිභා.) නා.ප්‍ර. තීර්යක් රේඛාවක් සමඟ අනෙක් රේඛාවක් සාදන්නා වූ බාහිර කෝණයට සමාන අභ්‍යන්තර කෝණයක් සාදන රේඛාව.

ප්‍රතිසල්ලීනය

නා. විවේකයට පැමිණීම ; හුදකලා වාසය.

ප්‍රතිස්ථාපනය

නා. ස්ථිර ව පිහිටු වීම ; තැන්පත් කිරීම ; යමක් වෙනුවට අනිකක් යෙදීම ; යම් දෙයක් වෙනුවට ඒ හා සමාන වූවක් සැපයීම.

ප්‍රතිසාධනය

1. නා. පරිපෝෂණය කිරීම (රෝගයක් පීඩනයක් වැන්නකින් ඇති වූ දුබලතාව ඉවත් කොට) යථා ස්වභාවයට පමුණුවාලීම.
2. (මතයක් වැන්නක්) ගොඩ නංවා තහවුරු කිරීම ; ප්‍රතිෂ්ඨාපනය කිරීම ; යළි සාධනය කොට දැක්වීම.
3. අධ්‍යාපන නීතියක් ; ප්‍රතිබෝධක හා ප්‍රතික්‍රියා මතයත් තත්ත්වාරෝපිත නීතියක් යන අධ්‍යාපන මූලධර්ම දෙක ම ප්‍රයෝජනයට ගනිමින් ඉදිරිපත් කොට ඇති මතය ; හැල් විසින් ඉදිරිපත් කළ ප්‍රතිසාධනය හෙවත් පරිපෝෂණය පිළිබඳ මතය.